zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

තුන් වැනි Starship රොකට්ටුව නත්තලට පෙර සූදානම් බව ඊලෝන් මස්ක් කියයි

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.



තුන් වැනි Starship යානය තවත් සති 3ත් 4ත් අතර කාලයකින් – එනම් නත්තලට පෙර – ගුවන්ගත කළ හැකි පරිදි සූදානම් ව පවතිනු ඇති බව SpaceX නිර්මාතෘ ඊලෝන් මස්ක් X පණිවුඩයක් තබමින් සඳහන් කරනවා.

නමුත් එය සූදානම් වූ පමණින් උඩුගුවන් ගත කිරීම සිදු කළ හැකි යැ යි සහතික විය නො හැකියි. ඒ සඳහා SpaceX ඇමරිකාව තුළ ගුවන් ගමන් පිළිබඳ අධිකාරීත්වය දරන ෆෙඩරල් පියාසැරි පාලනාධිකාරිය හෙවත් Federal Aviation Administration (FAA) හි අවසරය සහිත බලපත්‍රය ලබාගත යුතු වනවා. FAA මේ වන විට සිටින්නේ පසුගිය 18 දා Starship දෙ වන පියාසැරිය දා හටගත් සිදු වීම් ගැන විමර්ශනය කරමිනුයි.

ඉකුත් 18 සෙනසුරාදා දකුණු ටෙක්සාස්හි Starbase අංගණයෙන් ඉහළ නැඟුණු Starship රොකට්ටුව අරමුණු කරගෙන තිබුණේ එහි දෙ වන අදියර වූ Starship 25 යානය, Super Heavy බූස්ටරයෙන් ගැලවුණු පසු පෘථිවිය වටා ගොස් 90 වැනි විනාඩියේ දී හවායි ආසන්න මුහුදට ගොඩබෑමටයි. සාර්ථක ලෙස hot staging අදියර පසු වූ අතර යළි මුහුදට පතිත වීමට නියමිත ව තිබූ බූස්ටරය අනපේක්ෂිත කොටස් ගැලැවී යාමකට නතු වීම නිසා පුපුරුවා දැමුණා. දෙවන අදියර හෙවත් Starship 25 යානය සාර්ථක ලෙස අභ්‍යවකාශයේ ඉම ලෙස සැලකෙන, කිලෝමීටර 100ක් ඉහළින් ඇති කාමන් රේඛාව පසු කරමින් අභ්‍යවකාශයට පිවිසි පළමු Starship යානාව බවට පත් වුවත් ඇති වූ සන්නිවේදන ඇනහිටීමක් හේතුවෙන් එය ද ස්වයංක්‍රීය ව පිපිරී ගියා.

2023 අප්‍රේල් මාසයේ දී සිදු වූ Starship පළමු පියාසැරියේ දී නම් රොකට්ටුව ඉහළට එසැවී විනාඩි හතරකින් අවසානය දකින්නට සිදු වූයේ එහි අදියරමය වෙන් වීම නිසි පරිදි ක්‍රියාත්මක නො වීම හේතුවෙන් FTS පද්ධතිය ක්‍රියාත්මක කර පුපුරුවා දමන්නට සිදු වූ බැවිනුයි. මෙවර අදියරමය වෙන් වීම hot staging ලෙස හැඳින්වෙන නව තාක්ෂණයත් සමගින් අත් හදා බැලූ පළමු සැරියෙන් ම සාර්ථක වීම ජයග්‍රහණයක්. එසේ ම ගිය වර රොකට්ටුව ඉහළට එසැවීමේ දී ගැලවී ගිය දියත් කිරීම් පීඨිකාවේ කොටස් අනතුරුදායක ස්වරූපයක් මවා පාමින් කිලෝමීටර ගණනක් දුරට විසි වී ගොස් තිබුණත් මෙවර පීඨිකාව මත එසේ නො වනු පිණිස සවි කර තිබූ ජලයෙන් සිසිල් වන ඝන වානේ තට්ටුව ද අතිශය සාර්ථක පිළියමක් බව හෙළි වුණා.

කෙසේ නමුත් මෙහෙයුම මුළුමනින් සාර්ථක නො වීම – නො එසේ නම් – පිපිරීම් දෙකක් සිදු කරන්නට වීම ම FAA විමර්ශනයකට අත වැනීමක්. මීළඟ පියාසැරියකට අවසරය හිමි වන්නේ එයින් පසු ව යි. අප්‍රේල් මාසයේ සිදු වීමෙන් පසු දෙ වැනි වර පියාසැරියක් සඳහා SpaceX වෙත අවසරය ලබා දෙන්නට මාස හතක කාලයක් ගත ව තිබුණා. කෙසේ නමුත් එම සිදු වීමට සාපේක්ෂ ව ඉකුත් දා සිදු වූ දෙ වැනි පියාසැරියේ කාර්ය සාධනය සැලකූ විට එතරම් ම කාලයක් SpaceXහට රස්තියාදු වන්නට සිදු නො වනු ඇති බවයි අභ්‍යවකාශ ලෝලීන් අදහස් කරන්නේ.

(සේයාරුවේ දැක්වෙන්නේ ඉතුත් 18 දා hot staging අවස්ථාව සාර්ථක ලෙස අවසන් කරමින් බූස්ටරයෙන් දෙ වැනි අදියර වෙන් වූ අයුරුයි.)

Space.com ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්



Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!