zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

Starship දෙවන පියාසැරිය බොහෝ දුරට සාර්ථකයි 

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.



SpaceX සමාගමේ Starship IFT-2 පරීක්ෂණ පියාසැරිය ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද ප.ව. 6:30 ට පමණ සිදු වුණා. ඒ ටෙක්සාස්හි පිහිටි Starbase දියත් කිරීම් අංගණයේ සිටයි.

පළමු අදියරේ Super Heavy බූස්ටරයේ රැප්ටර් එන්ජින් 33ම සාර්ථක ලෙස දැල්වෙමින් රොකට්ටුවට ත්වරණය ලබා දෙන්නට සමත් වූ අතර පළමු අදියරෙන් දෙවැනි අදියර වෙන් වන ‘Hot Staging’ අවස්ථාව ද ඉතා සාර්ථක ලෙස නිමා කරන්නට එය සමත් වුණා. Hot staging යනුවෙන් හැඳින්වෙන්නේ පළමු අදියර දෙවැනි අදියරෙන් වෙන් වන්නට පෙර දෙවැනි අදියරට අනුයුක්ත එන්ජින් හය දල්වා තැබීමයි. ප්‍රථම වතාවට අත්හදා බැලුණු එය අතිශය සාර්ථක ලෙස සිදු වුණා.

දෙවැනි අදියර වෙන් වී අභ්‍යවකාශය බලා පියාසර කරන විට වෙන් ව පැවති පළමු අදියර යළි පහළට අවුත් විනාඩි හතක කාල රාමුවක් ඇතුළත මෙක්සිකෝ ගල්ෆ් මුහුදට පතිත වීම සැලසුම වී තිබුණා. නමුත් එහි ආපසු ගමන නියාමනය කරන එන්ජින් නිසි පරිදි ක්‍රියාත්මක වුණේ නැහැ. එහි කොටස් බිඳී ඇති බවක් නිරීක්ෂණය වුණා. SpaceX බලධාරීන් එය හැඳින්වූයේ “rapid unscheduled disassembly” ලෙසයි. මේ නිසා Flight Termination System (FTS) හෙවත් පියාසැරි නිශ්ක්‍රීයකරන පද්ධතිය ක්‍රියාත්මක කර බූස්ටරය පුපුරුවා දමන්නට කටයුතු කෙරුණා.

මේ අතර දෙවැනි අදියර සාර්ථක ලෙස නියමිත ගමන් පථය ඔස්සේ අභ්‍යවකාශය බලා ධාවනය වෙමින් පැවතුණා. එහි වූ රැප්ටර් එන්ජින් 3 සහ රැප්ටර් වැකියුම් එන්ජින් 3 සාර්ථක ලෙස දැල්වෙමින් තිබුණා. Starship 25 දෙවැනි අදියර පොළොවට නිරීක්ෂණය වුණේ දීප්තිමත් පහන් තරුවක් ලෙසයි. කෙසේ නමුත් කිලෝමීටර 148ක උන්නතාංශයක පැවතිය දී එය හා පැවති සන්නිවේදනය සබඳතා බිඳ වැටුණා. ඒ වන විට එය ගමන් කරමින් පැවතියේ පැයට කිලෝමීටර 24,000ක වේගයකින්. ඉන් ස්වල්ප වේලාවකට පසු එය සතු FTS පද්ධතිය ස්වයංක්‍රීය ලෙස ක්‍රියාත්මක වී තිබුණා.

සැලසුම වී තිබුණේ දෙවැනි අදියර කක්ෂයකට නො පිවිසී පෘථිවිය වටා එක් වටයක් ගොස් විනාඩි 90 ක් ගත වූ තැන හවායි ආසන්නයේ මුහුදට ගොඩබෑමටයි. නමුත් දෙවැනි අදියරේ අවසානයත් සමගින් එය ද අවසානය දුටුවා.

මෙවර Starship දියත් කිරීම පසුගිය අප්‍රේල් මාසයේ සිදු වූ IFT-1ට වඩා සාර්ථක බව පෙනෙන්නට තිබෙනවා. Orbital Launch Mount ලෙස හැඳින්වෙන දියත් කිරීමේ පීඨිකාව පසුගිය වර දියත් කිරීමේ හමුවේ දැඩි අලාභානිවලට ලක් ව තිබුණා. ඉන් ගැලැවී ගිය කොන්ක්‍රීට් කොටස් බොහෝ දුරකට විසි වී ගොස් තිබුණා. නමුත් මෙවර එය මත ස්ථාපනය කර කිබූ ජලයෙන් සිසිලනය වන ඝනකම් වානේ තහඩුව එයට ඉතා හොඳින් ඔරොත්තු දී තිබුණා.

පසුගිය වර පළමු අදියර සහ දෙවැනි අදියර වෙන් වීම නිසි පරිදි ක්‍රියාත්මක නො වූ අතර මෙවර එය මනා ලෙස සිදු කරීම සඳහා පළමු වරට අත්හදා බැලූ Hot staging තාක්ෂණය ද සාර්ථක වීම සුවිශේෂ ජයග්‍රහණයක් ලෙස හුවා දැක්විය හැකියි.

එසේ ම අභ්‍යවකාශයේ ඉම ලෙස සැලකෙන කිලෝමීටර 100ක් ඉහළින් ඇති කාමන් රේඛාව පසු කළ පළමු Starship යානය ලෙස ද Starship 25 යානය ඉතිහාසයට එක් වනවා.




Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!