zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

විෂාදය හෙවත් Depression ගැන ඔබ දැනගත යුතු දේ

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

 



මානසික රෝගයකින් පෙළෙන හැම කෙනෙක්වම ඉස්සර අපි හැඳින්නුවේ පිස්සෙක් කියල. මානසික රෝග හැම එකක්ම පිස්සුවක් කියල තමයි ඉස්සර මිනිස්සු හිතාගෙන හිටියේ. හැබැයි මේ වෙද්දී වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් එක්ක වගේම මිනිසුන් අන්තර්ජාලය හා විවිධ ලිපි ලේඛන හරහා දැනුවත් වෙලා ඉන්න නිසාම මානසික තත්ත්වයේ වෙනස්වීමක් ඕනම කෙනෙකුට ඇතිවිය හැකි දෙයක් බව අපි හුඟ දෙනෙක් දන්නව. ඒ අතරිනුත් මේ Depression හෙවත් විෂාදය ගැන කතාබහ වෙනව ටිකක් වැඩියි. මොකද විෂාදය නිසා අපිට අහිමිවෙන වටිනා තරුණ ජීවිත බොහෝමයි. ඉතින් අපි මේ විෂාදය ගැන කරුණු ටිකක් හොයල බලමු. තමන්ට වගේම වෙන කෙනෙකුට වුණත් මෙහෙම තත්ත්වයක් ඇති වුනොතින් උදව් කරන්න මේ තොරතුරු බොහොම ප්‍රයෝජනවත් වේවි.

1. මොකක්ද මේ විෂාදය කියන්නෙ?

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව Depression එහෙමත් නැත්තම් Major Depressive Disorder කියල කියන්නෙ ඔබට දැනෙන හැටි, ඔබ සිතන හැටි සහ ඔබ ක්‍රියාකරන හැටි කියන දේවල් වලට සෘණාත්මකව බලපෑම් ඇතිකරන තත්ත්වයක්. මේක මානසික රෝගී තත්ත්වයක්. ඒ වගේම සුලභව දකින්න තියෙන සහ සැළකිලිමත් විය යුතු තරම් බරපතල තත්ත්වයක්. මේ විෂාදය තත්ත්වය නිසා ජීවිතයේ පෙර සතුටින් විඳපු දේවල් හරිම නීරස විදිහට දැනෙන්න පුළුවන්. එදිනෙදා වැඩ කටයුතු නිසියාකාරව කරගන්න නොහැකි වෙන්න පුළුවන්. හැබැයි මේක ප්‍රතිකාර වලින් සුවකළ හැකි තත්ත්වයක්. ගැටළුව තියෙන්නෙ හුඟක් දෙනෙක් නිසි දැනුවත් භාවයක් නොමැතිකම නිසා ප්‍රතිකාර සඳහා යොමු නොවී සිටීම. ඒ වගේම පිස්සෙක් කියලා හංවඩු ගැහෙනවට බය නිසා හිතාමතාම ප්‍රතිකාරවලට යොමු නොවී ඉන්න අයත් අතරින් පතර දකින්න පුළුවන්.

 

 

2. විෂාදයේ ප්‍රභේද

මේ විෂාදය තත්ත්වයේ විවිධ ප්‍රභේදයන් දකින්න තියෙනවා. මේ ඒ අතරින් සුලභවම දකින්න තියෙන ප්‍රභේද.

දැඩි මානසික අවපීඩනය (Major Depression)

මේ තත්ත්වය ඇතිවුණු පුද්ගලයින්ට නිරන්තරයෙන් ශෝකී සිතුවිලි ඇතිවෙන්න පුළුවන්. ජීවිතයේ කලින් සතුටින් සිදුකළ සියළු දේ ගැන ඇති උනන්දුව නැතිවෙන්න පුළුවන්. 

 

අඛණ්ඩ මානසික අවපීඩන අබාධය (Persistent Depressive Disorder)

මේ තත්ත්වය Dysthymia කියලත් හඳුන්වනවා. මේ තත්ත්වයේ රෝග ලක්ෂණ අඩුම තරමේ අවුරුදු දෙකක් දක්වා දීර්ඝ කාලයක් පෙන්නුම් කරන්න පුළුවන්.

 

ද්වි ධ්‍රැව ආබාධ තත්ත්වය (Bipolar Disorder)

මේ තත්ත්වය Manic Depression විදිහටත් හඳුන්වනවා. මේ තත්ත්වය ඇතිවුණු පුද්ගලයින්ට අසාමාන්‍ය ලෙස හැඟීම් වෙනස්වීම අත්දකින්න පුළුවන්. අධික ශෝකජනක, ශක්තිය හීනවුණු ගතිය වගේම ඉතා ප්‍රීතිමත්, ජවසම්පන්න හැඟීමකුත් විටින් විට වෙනස් වෙමින් ඇතිවෙන්න පුළුවන්. 

 

මනෝව්‍යාධික විෂාද තත්ත්වය (Psychotic Depression)

සත්‍ය වශයෙන් නොපවතින තත්ත්වයන් පිළිබඳ විශ්වාස කිරීම සහ ඒවා ඇසීම සහ පෙනීම මේ තත්ත්වයේදී අත්දකින්න පුළුවන්.

 

පසු ප්‍රසව ආතතිය (Postpartum Depression)

දරුවෙකු ලැබුණු අලුත මවකට ඇතිවෙන්න පුළුවන් විෂාද තත්ත්වය මේ නමින් හැඳින්වෙනවා. දරු උපතින් පසුව හෝර්මෝන තත්වයන් වෙනස්වීම මේ තත්ත්වයට ප්‍රධාන හේතුවක් විදිහට සැළකෙනවා. 


නිශ්චිත කාල රටාවන් (සෘතූන්) සහිත ප්‍රධාන මානසික අවපීඩන ආබාධය (Major Depressive Disorder with Seasonal Pattern)

මේ තත්ත්වය හුඟක් ශීත දේශගුණයක් සහිත රටවල මිනිසුන්ට ඇතිවෙන තත්ත්වයක්. සෘතූන් වෙනස් වීමත් එක්ක සීතල සහිත කාලයේදී ඇතිවෙන මේ රෝගයේ ලක්ෂණ වසන්ත කාලය වෙනකොට යම්තාක් දුරට අඩුවෙන්න පුළුවන්.

 

3. රෝගයේ බරපතලකම

මේ විෂාදය කියන මානසික රෝග තත්ත්වය කිසිසේත්ම නොසළකා හැරිය යුත්තක් නෙමෙයි. මේ තත්ත්වයේ විවිධ අතුරු අබාධ තියෙන්න පුළුවන්. හෘද රෝග වැඩිවීම හෝ පවතින හෘද රෝග සුවවීමට බාධා ඇතිකිරීම, දියවැඩියාව සහ ස්ථුල භාවය, මධ්‍යසාර සහ දුම්වැටි වැනි විවිධ ඇබ්බැහිවීම් වලට යොමුවීම වගේම මෙහි ඉතාම දරුණු ප්‍රතිඵලය ලෙස සියදිවි හානිකර ගැනීම දක්වන්න පුළුවන්. ලෝකයේ සිදුවන සියදිවි නසාගැනීම් වලින් 2/3ක් ම විෂාදය නිසා සිදුවන සියදිවි නසාගැනීම් බව වාර්තා වෙනවා. 

 

 

4. රෝග ලක්ෂණ


කොහොම වුනත් මේ කියන රෝග ලක්ෂණ තියෙනවනම් ඔබ සුළු වශයෙන් හෝ විෂාදය තත්ත්වයෙන් පෙළෙන කෙනෙක් බව කියන්න පුළුවන්. 

  • අවධානය යොමු කිරීම, මතක තබාගැනීම සහ තීරණ ගැනීම සම්බන්ධ ගැටළු.
  • නිතර දැනෙන තෙහෙට්ටුව.
  • වරදකාරී හෝ කිසිඳු වටිනාකමක් නැති හැඟීමක් දැනීම.
  • සර්ව අසුභවාදීබව සහ බලාපොරොත්තු රහිත බව.
  • නින්ද නොයාම හෝ අධිකව නිදාගැනීම සහ උදෑසනට ඇති වෙහෙසකාරී බව.
  • අධික කෝපය.
  • අධික වෙහෙසකාරී බව.
  • ලිංගික කටයුතු ඇතුළුව පෙර සතුටු වූ ක්‍රියාවන් කෙරෙහි උනන්දුවක් නැතිවීම.
  • ආහාර අරුචිය හෝ අධික ආහාර රුචිය.
  • හිසරදය වැනි නිතර ඇතිවෙන වේදනාවන්.
  • අහාර දිරවීමේ ගැටළු.
  • නිතර ඇතිවෙන ශෝකය, කනස්සල්ල හෝ හිස් හැඟීම.
  • සියදිවි නසාගැනීමේ සිතුවිලි හෝ උත්සාහයන්.

 

5. ප්‍රතිකාර සඳහා යොමුවිය යුතු අවස්ථාව

ජීවිතයේ ඇදවැටීම්, අපහසු කාලයන් කියල කියන්නෙ අපි හැමෝටම පොදුවේ අත්විඳින්න සිදුවෙන දේවල්. එහෙම අවස්ථාවන් වලදී එකපාරටම පෙර තත්ත්වයට නැඟීසිටින්න හැමෝටම අපහසුයි. ඒ කාලවකවානුවේදී ශෝකජනකබව, හිස් හැඟීම, වෙහෙසකාරී බව, බලාපොරොත්තු රහිත බව වගේ කලින් කියපු ලක්ෂණ පෙන්වන්න පුළුවන්. හැබැයි ඒකෙන් අදහස් වෙන්නෙ නැහැ ඔබ විෂාදයෙන් පෙළෙන බව. නමුත් පෙර කියපු රෝග ලක්ෂණ එකක් හෝ කිහිපයක් දිගු කාලයක් තිස්සේ පවතිනවනම් වගේම ඒවා එදිනෙදා ජීවිතයේ වැඩකටයුතු වලට බාධා ඇතිකරන මට්ටමට වර්ධනය වෙලානම් ඔබ අනිවාර්යයෙන්ම ප්‍රතිකාර සඳහා යොමුවිය යුතුයි.

 

6. රෝග විනිශ්චය

විෂාදය රෝග ලක්ෂණ වලින් පෙළෙන්නෙකු මුණගැසිය යුත්තේ මනෝවෛද්‍යවරයෙක්. නමුත් අනිත් ලෙඩරෝග වගේ මේ විෂාද තත්ත්වය ලැබ් ටෙස්ට් එකකින් තහවුරු කරන්න බැහැ. වර්තමාන තත්ත්වය, ඔබේ ජීවන රටාව, විවිධ ඇබ්බැහිවීම් වගේම පවුලේ ඉතිහාසය වගේ කරුණු සාකච්ඡා කරලා මනෝ වෛද්‍යවරයෙකුට රෝග තත්ත්වය නිගමනය කරන්න පුළුවන්.

 

7. ප්‍රතිකාර

මේ රෝගය එක බෙහෙත් වාරයකින් සුව කරන්න පුළුවන් රෝගයක් නෙමෙයි. Antidepressant වැනි බාහිර ප්‍රතිකාර වගේම උපදේශනයන් මඟිනුත් රෝගය පාලනය කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් මාස කිහිපයක් හෝ වසර කිහිපයක් වෛද්‍ය උපදෙස් පිළිපදිමින් අඛණ්ඩව ප්‍රතිකාර ගැනීමෙන් තමයි රෝගය සුවකරන්න හැකියාව තියෙන්නෙ.




Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!