zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

ජපානයට නුදුරු පැසිෆික් සාගරයේ යමහල් දූපතක් බිහිවෙයි

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.



ජපානයේ හොන්ෂු දූපතේ ටෝකියෝ අගනුවරට කිලෝ මීටර් 1,200 ක් දකුණින් පිහිටි අයිවෝ ජිමා නම් යමහල් දූපතට කිලෝ මීටරයක් තරම් ආසන්නයෙන් තවත් යමහල් දූපතක් පැසිෆික් සයුර මතින් අලුතෙන් ම බිහි වී තිබෙනවා.

පසුගිය ඔක්තෝබර් මස 21 වෙනි දින ඇරඹුණු පැසිෆික් සාගර පත්ලේ යමහල් විදාරණයක් දින 10 ක කාලයක් තුළ ක්‍රමයෙන් ප්‍රබලතාවයෙන් වැඩි වුණා. ඔක්තෝබර් මස 30 වෙනි දිනය වන විට මිනිත්තු කීපයකට වරක් යමහල් පිපිරීම් සිදුවන තරමට එය තීව්‍රතාව ඉහළ ගියා.

එහි ප්‍රතිඵලයක් ලෙසින් වාතයට විශාල පාෂාණ කැබලි විසි වී ගිය අතර යමහල් වායු සහ අළු ධාරාවන් පැසිෆික් ජල තලයෙන් මීටර් 50 ක් එනම් අඩි 160 ක් තරම් ඉහළට සිරස් ව විදින්නට පටන් ගත් බව ජපාන පුවත් ඒජන්සි වාර්තාවල දැක්වුණා. ඒ අනුව යමහල් අළු සහ පාෂාණ ගොඩ ගැසීමෙන් අයිවෝ ජිමා දුඉපතට ආසන්නයෙන් මේ නව දූපත උපත ලබා තිබෙනවා.

පසුගිය නොවැම්බර් 3 වෙනි දින Landsat 9 නම් පෘථිවි නිරීක්ෂණ චන්ද්‍රිකාවේ ඇසට මේ කුළුඳුල් කොදෙව්ව හසු වී තිබෙන අන්දම යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය ( ESA ) සහ එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය විසින් එළි දක්වා තිබෙනවා. අලුතෙන් බිහි වුණු දූපත අඩි 330 ක් එනම් මීටර් 100 ක් පමණ පළලැති වන අතර එහි උස මීටර් 20 ක් එනම් අඩි 66 ක් පමණ වෙනවා.
දූපත අවට පැසිෆික් සයුර පමිස් ගල් පාවෙමින් තිබෙන මුහුදු ප්‍රදේශයක් බවට පත් වී තිබෙනවා.
ප්‍රබල යමහල් පිපිරීම්වලින් පිට කෙරෙන යමහල් පාෂාණ වර්ගයක් වන පමිස් ගල් අතිශයින් සවිවර පාෂාණ විශේෂයක් වෙනවා.

දූපත ආසන්නයේ ඇති මේ පමිස් ගල්වල නවතම විශ්ලේෂණවලට අනුව පැසිෆික් වළල්ලට අයත් අනෙක් යමහල් විදාරණවලින් පිට වී තිබෙන පමිස්වලට වඩා මේ පමිස් විශේෂය රසායනික සංයුතියෙන් වෙනස් බව අනාවරණය කර තිබෙනවා.

අලුතින් බිහි වූ දූපතේ පාෂාණ මුහුදු රළ පහරින් ක්‍රමයෙන් ඛාදනයට ලක් වීම හේතුවෙන් මේ දූපත නුදුරු අනාගතයේ දී ක්ෂය වී යා හැකි බව ජපාන කාලගුණ විද්‍යා ඒජන්සියේ විශ්ලේෂකයකු වන Yuji Usui සඳහන් කළ බව පසුගිය නොවැම්බර් 10 වෙනි දින පළ කරනු ලැබූ AP පුවත් වාර්තාවක දැක්වෙනවා.

Live Science , AP පුවත් සහ ESA ඇසුරෙනි.

ප්‍රේමශාන්ත කුමාරසිරි

 


Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!