zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

කොළ කුරුමිට්ටන් මැද හිඟ දත්ත සෙවීම

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.



විශ්වය තුළ අප ජීවත් වන්නේ හුදෙකලාව ද යන්න අනාදිමත් කාලයක සිට මිනිස් චිත්ත සන්තානය හොල්මන් කළ ප්‍රශ්නයකි. අපගේ දෑසට ගෝචර වන සීමාව තුළ ද දැකිය හැකි තාරකා ගණන නො ගැනිය හැකි බැවින් (මේ අගය රාත්‍රී අහසක දී නම් 4500ක් පමණ වෙතැ යි සොයාගෙන තිබේ.) සැබැවින් ම එය එසේ විය හැකි දැ යි ප්‍රශ්න කරගැනීම සර්ව සාධාරණ නො වන්නේ ද? පෘථිවිය ද එක් ඇබිත්තක් කර පවතින ක්ෂීරපථ මන්දාකිණියේ තරු බිලියන 100කට අධික සංඛ්‍යාවක් පවතියි. විද්‍යාඥයන් උපකල්පනය කරන පරිදි මුළු විශ්වය සතු ව තාරකා සෙප්ටිලියනයක් 1,000,000,000,000,000,000,000,000) වත් තිබේ. ඉන් සූර්යයා හැර වෙනත් තාරකාවක් වටා පරිභ්‍රමණය වන ග්‍රහලොවක් කුමන හෝ ආකාරයේ ජීවයකට නිවහන වී තිබෙන්නට නො හැකි ද?

පිළිතුර නම් අප තව ම දන්නේ නැති බවයි. ඇතැම් විට එය ද නො දැන අපට මියෙන්න‍ට සිදු වනු ඇත. නමුත් එවන් අවාසනාවන්ත දුගියෙකු සේ කාත් කවුරුත් නැති අඳුරක වියැකී නො යනු වස් පිටසක්වළ ජීවයක් සෙවීමේ අරමුණින් දියත් වූ විද්‍යාත්මක මෙහෙයුම් ගණනාවක අනාගත උරුමය අපට තිබේ. රේඩියෝ සංඥා මඟින් සන්නිවේදනය කළ හැකි තරමට දියුණු වූ (ලදබොළඳ වූ?) පාරභෞමික බුද්ධිමතුන් සෙවීමේ අටියෙන් නිෂ්චිත තාරකා පද්ධති වෙත යොමු කළ සංඥා මෙන් ම කෙදින හෝ ඇස ගැටුණහොත් අල්ලාගෙන අප ගැන මෙන් ම අපේ ග්‍රහලෝකය ගැන ද කරුණු දැනගත හැකි වොයේජර් වැනි යානා ද ඒවායේ පාර්ෂ්වකරුවන් ය.

කෙසේ නමුත් පිටසක්වළ ජීවය පිළිබඳ කතාව එතැනින් අවසන් නොවේ. ඒ නිතිපතා ම වාගේ වාර්තා වන හඳුනා නො ගත් පියාසර වස්තූන්ගේ දර්ශනය වීම් හේතුවෙනි. ඇතැමුන් දැඩි ලෙස විශ්වාස කරන්නේ ඒවා පිටසක්වළ ජීවීන්ගේ පෘථිවි සම්ප්‍රාප්ති ලෙසයි. පරම්පරා ගණනක් තිස්සේ මේ මතය මිනිස් මනස් තලයන් තුළ අඩු වැඩි වශයෙන් හොල්මන් කරයි. බොහෝ අවස්ථාවල දී හඳුනා නොගත් සම්භවයක් සහිත බව පෙනී යන දෑ ස්වභාවික සංසිද්ධීන් හෝ ගුවන් යානා හෝ බැලූන බව හෙළි වෙයි. සැබෑ ලෙස ම වෙනත් ආකාරයකින් විස්තර කළ නො හැකි අන්දමේ හඳුනා නො ගත් වස්තුවක් ලෙස ඉතිරිවන්නේ එක් රැස් වන වාර්තා අතුරින් අතිශය සුළු ප්‍රතිශතයකි.

පසු ගිය සැප්තැම්බර් 14 වැනි දා NASA ආයතනය මඟින් පත් කර ඇති හඳුනා නො ගත් විෂම සංසිද්ධීන් (UAP) පිළිබඳ කාර්ය සාධන බලකාය විසින් සිය අවසන් වාර්තාව ප්‍රසිද්ධියට පත් කරනු ලැබුණි. ඒ එම කාර්ය සාධන බලකාය පත් කර වසරකුත් මාස හතරක් ගත වූ තැන ය. හඳුනා නො ගත් විෂම සංසිද්ධීන් පිළිබඳ පවතින දත්ත එක් රැස් කිරීම සහ විශ්ලේෂණය කිරීම එහි අරමුණ වී තිබුණි.

14 දා ඒ වෙනුවෙන් ම ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවේ දී ප්‍රථමයෙන් සභාව ඇමතූ NASA ප්‍රධානී ජිම් නෙල්සන් පෘථිවියෙන් පිට ජීවය සෙවීමෙහි ලා පර්සවරන්ස් රෝවරයත්, ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂයත් ලබා දෙන සහයෝගය ගැන හැඳින්වීමක් කළේ ය. NASAවේ UAP වැඩසටහනත් එවැනි ම ආකාරයකින් විශ්වයේ වෙනත් ජීවීන් පිරිසකගේ පැවැත්ම පිළිබඳ ඉගෙනීමේ තවත් එක් පියවරක් වන්නට ඉඩ තිබෙන බව ද ඔහු එහි දී සඳහන් කළේ ය.

විද්‍යාව, තාක්ෂණය, දත්ත හැසිරවීම, කෘත්‍රිම බුද්ධිය, අභ්‍යවකාශ ගවේෂණය, ගුවන් සුරක්ෂිතතාව, මාධ්‍ය සහ වාණිජ්‍ය නවෝත්පාදනය ආදී ක්ෂේත්‍ර ගණනාවක නිපුණත්වයට පත් විශේෂඥයන් 16 දෙනෙකුගෙන් එය සමන්විත වී තිබුණි. කීර්තිමත් න්‍යායාත්මක භෞතිකවිද්‍යාඥ David Spergel මූලාසනය දැරූ එහි පරමාර්ථය වී තිබුණේ මෙසේ එළි දුටු පරිදි UAP සංසිද්ධීන් පිළිබඳ ප්‍රවේශ විය හැකි දත්ත උකහා ගනිමින් වාර්තාවක් පිළියෙළ කිරීමයි.

මෙසේ එළි දුටු පිටු 36කින් යුතු වාර්තාවේ හැඳින්වීමෙහි දැක්වෙන පරිදි නො දන්නා දෑ පිළිබඳ විද්‍යාත්මක ක්‍රමවේදයට අනුකූල ව ගවේෂණය කිරීම NASA ආයතනයේ මෙහෙයුමට බද්ධ වී ඇති කාර්ය භාරයකි. එය චින්තාව තුළ පෝෂණය වන පූර්ව නිගමන හෝ අදහස් මතින් නො ව දත්ත මත පදනම් වූ ක්‍රියා පටිපාටියකි.

UAP දර්ශනය වීම් අතුරින් සාතිශය බහුතරය ස්වභාවික හෝ වෙනයම් සංසිද්ධීන් මඟින් පැහැදිලි කළ හැකි ය. එවැනි සංසිද්ධීන් අධ්‍යයනය කරන කල්හි මුහුණ දෙන්නට සිදු වන බරපතල ම අභියෝගය වශයෙන් ඔවුන් අත් දැක තිබුණේ එවැනි විෂම දර්ශනය වීම් විග්‍රහ කර සමථයකට පත් කළ හැකි ආකාරයේ දත්ත සොයාගැනීමට ඇති අපහසුවයි. ඇතැම් විට සිදු වීම් ඇසින් දුටු අයගේ කටඋත්තර රසවත් මෙන් ම විශ්වසනීය වුවත් ඒවා එම සංසිද්ධිය පිළිබඳ නිශ්චිත නිගමනයකට එලැඹීමට තරම් ප්‍රමාණවත් තොරතුරුවලින් හිඟ බව පෙනී යයි. ඒ කෙසේ වුවත් UAP සංසිද්ධීන් අර්ථකථනය කර ගැනීමට නම් සාධක සහ දත්ත මත පිහිටන විද්‍යාත්මක රාමුවක් තුළ ගමන් ගැනීම අත්‍යවශ්‍ය බව NASA වාර්තාව අවධාරණය කරයි.

2004 වසරේ දී ඇමරිකානු නාවික හමුදාවට අයත් යූ.එස්.එස්. තියඩෝර් රූස්වෙල්ට් නම් ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහන නෞකාවෙන් ඉහළට නැඟි යානාවල වූ අධෝරක්ත කැමරා මත සටහන් වූ අධික වේගයෙන් පියාසර කරන වස්තුවක් දැක්වෙන කෙටි වීඩියෝපටය වසර කිහිපයක් තිස්සේ ම හඳුනා නො ගත් පියාසර වස්තුවක් පටිගත වූ මාහැඟි අවස්ථාවක් ලෙස බොහෝ දෙනා අවිවාදයෙන් පිළිගත් නමුත් මේ වාර්තාවෙන් එය ද අභියෝගයට ලක් වී ඇති බව පෙනෙයි. වීඩියෝපටයේ දෙස බැලූ බැල්මට පෙනී යන්නේ එය සාගර ජල තලයට ඉහළින් අධිත වේගයකින් පියාසර කරන බවයි. නමුත් වාර්තාවේ සඳහන් පරිදි තිරයේ දිස් වන අංක ගණිතමය තොරතුරු විශ්ලේෂණය කිරීමෙන් හෙළි වන්නේ සැබැවින් ම එය ගමන් කරන වේගයේ එතරම් විශේෂයක් නො මැති බවයි. සැබැවින් ම එය ගමන් කරන්නේ එහි උන්නතාංශය වන අඩි 13,000ක් ඉහළ අහසේ ඇති සාමාන්‍ය සුළඟේ වේගයෙන් බව වාර්තාව සවිස්තරාත්මක ව පෙන්වා දෙයි.

තවත් හඳුනා නොගත් පියාසර වස්තූන් කිහිපයක ම යථා ස්වභාවය පෙනෙන්නට ඇතිවාට වඩා භෞමික ස්වරූපයකින් යුතු බව ඉන් පෙන්වා දී තිබුණි. ඒ අතර දකුණු ආසියාකරයේ දී MQ-9 යානයකින් පටිගත කෙරුණු ප්‍රපංචයක් ද වෙයි. එය බොහෝ විට මගී ගුවන්යානයක් විය හැකි බවත්, අසාමාන්‍ය හැඩයකින් දිස් වන්නේ වීඩියෝපටය සංක්ෂේප කිරීමේ දී (video compression) හටගත් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් බවත් එහි දැක්වෙයි.

වාර්තාවේ ‘පොදු නිගමන සහ නිර්දේශ’ පරිච්ඡේදයේ සඳහන් පරිදි වර්තමානයේ දී ඡායාරූපයට නැඟෙන බොහෝ UAP හසු කර ගැනෙන්නේ ඒ කාර්ය සඳහා උචිත වන පරිදි සැලසුම් කළ හෝ සුසර කළ හෝ සංවේදක භාවිතයෙන් නො වේ. ඉන් විස්තීර්ණ වූ විශ්ලේෂණයකට අත්‍යවශ්‍ය වන වැදගත් මෙටාදත්ත ගිලිහී යයි. අසම්පූර්ණ දත්ත පරිරක්ෂණය ‌හේතුවෙන් බොහෝ UAPවල සම්භවය අවිනිශ්චිත වී ඇති බව ඔවුහු පෙන්වා දෙති. ඇතැම් විෂම සංසිද්ධීන් විග්‍රහ කළ නො හැකි තත්ත්වයක ඇත්තේ අසම්පූර්ණ දත්තවල පිහිටෙන් යැ යි අර්ථකථනය කරන්නට ද එනිසා පුළුවන.

මුළු වාර්තාව ම ගැන ම පොදුවේ තකා බලන විට ඉන් නිගමනය කෙරෙන්නේ හඳුනා නො ගත් පියාසර වස්තූන් කිසියම් පාරභෞමික ජීවයක පෘථිවි ආගමනයක් බව නිගමනය කිරීමට ප්‍රමාණවත් සාධක නො මැති බවයි. “හඳුනා නො ගත් විෂම සංසිද්ධීන් හා සම්බන්ධ ඇසින් දුටුවන්ගේ ප්‍රකාශ සහ ඡායාරූප ගණනාවක් පැවතියත් ඒවා සංගත මෙන් ම සවිස්තරාත්මක නැහැ. ඒ වගේ ම ඒවා UAPවල ස්වභාවය සහ සම්භවය පිළිබඳ නිශ්චිත විද්‍යාත්මක නිගමනයකට පැමිණීමට තරම් ප්‍රමාණවත් නිරීක්ෂණත් නො වෙයි.” NASA ආයතනයේ විද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලයේ සහකාර ප්‍රධානී නිකොලා ෆොක්ස් සඳහන් කළේ ය.

රහසිගත භාවයෙන් මුදවන ලද 2021 ජූනි 25 ට දින සඳහන් ඇමරිකානු ජාතික බුද්ධි අංශ අධ්‍යක්ෂවරයාගේ කාර්යාලය විසින් නිකුත් කෙරුණු Preliminary Assessment: Unidentified Aerial Phenomena නම් වාර්තාවේ ද දැක්වෙන්නේ මේ සම්බන්ධයෙන් පැහැදිලි නිගමනයකට එළැඹීමට තරම් ප්‍රමාණවත් සාධක හෝ දත්ත හෝ නො වන බවයි. ඔවුන් UAP සම්බන්ධ සිදු වීමක් ප්‍රධාන කාණ්ඩ පහක් යටතේ වර්ග කරයි. Airborne Clutter හෙවත් ‘වාසර ඉලෙක්ට්‍රොනික දෝංකාරය’ ඉන් පළමු වැන්නයි. එලෙස වර්ගීකරණයට ලක් වන සිදු වීමක් ගුවනේ ඇදී යන කුරුල්ලන්, ගුවන් යානා, බැලූන හෝ සුළඟකට හසු ව යන ප්ලාස්ටික් බෑගයක් හෝ විය හැකි බව හෙළි කර ගැනෙයි.

දෙ වැන්න නම් Natural Atmospheric Phenomena හෙවත් ස්වභාවික වායුගෝලීය සංසිද්ධීන් ය. අයිස් ස්ඵටික, වාතයේ ඇති තෙතමනය මෙන් ම අධෝරක්ත කැමරා පද්ධති සහ රේඩාර් මත සටහන් වන උෂ්ණත්ව
උච්චාවචනයන් එයට අයත් ය.

තුන් වැන්න USG or Industry Developmental Programs හෙවත් ඇමරිකානු රජය සතු රහසිගත ව්‍යාපෘතීන්ට අයත් අත්හදා බැලීම් ය.

සිව් වැන්න Foreign Adversary Systems හෙවත් වෙනත් රාජ්‍යයකින් හෝ රාජ්‍ය නො වන සංවිධානයකින් හො වැඩිදියුණු කරන ලද තාක්ෂණික උපාංගයක් විය හැකි බව ය.

සැබැවින් ම විස්තර කළ නො හැක්කේ පස් වන කාණ්ඩය ලෙස වර්ගීකරණ කර ඇති Other හෙවත් ‘වෙනත්’ ලෙස නම් කළ කාණ්ඩයට අයත් වන ප්‍රපංචයන් සුළුතරයයි. එය එසේ විග්‍රහ කිරීමකට ලක් නො වී පවතින්නේ ඒවා විස්තර කළ නො හැකි භෞමික නො වන සම්භවයක් සහිත බවට සැක කළ හැකි නිසා නො වේ. ඒවා පිළිබඳ වැඩිදුර විමර්ශනය කිරීමට තරම් ප්‍රමාණවත් දත්ත නොමැති වීම හේතුවෙනි.

අනාගතයේ දී මේ සම්බන්ධයෙන් සිදු කෙරෙන අධ්‍යයනයන් සඳහා උපයෝගී කරගත හැකි සම්පත් ගැන ද වාර්තාවෙන් යෝජනා ඉදිරිපත් වී තිබුණි. මේ විෂයෙහි ලා ප්‍රමාණවත් දත්ත රැස් කරගත හැකි පරිදි NASA ආයතනයට අයත් පෘථිවි නිරීක්ෂණ චන්ද්‍රිකාවල සහය ලබාගැනීම ඉන් එකකි. එසේ ම කාලගුණික තත්ත්වයන් පිළිබඳ අවධානයෙන් පසු වීම සඳහා පවත්වාගෙන යන රේඩාර් ඇන්ටනා 160කින් සමන්විත NEXRAD වැනි ඩොප්ලර් රේඩාර් ජාල මෙන් ම අහස නිරීක්ෂණය සඳහා යොදා ගැනෙන භූමියේ ස්ථාපිත දුරදක්න ද මේ සඳහා උපයෝගී කරගත හැකි බව නිර්දේශ කර තිබුණි.

සත්‍ය හෙට්ටිආරච්චි


Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!