zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

ෆේස්බුක් එකට ඇබ්බැහි වෙලාද? වහාම ඒ ගැන දැනගන්න!

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

 


සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන ගොඩක් නව තාක්ෂණ මෙවලම් කාලයක් තිස්සේ සංවර්ධනය වෙලා, තාක්ෂණිකව පරිණාමය වෙලා තමයි ලෝකෙට එන්නේ. හැබැයි ෆේස්බුක් කියන්නේ ඊට සෑහෙන්න වෙනස් නිර්මාණයක් කියන්න පුලුවන්. ෆේස්බුක් එකට කලින් සමාජ මාධ්‍ය විදියට හඳුන්වන්න පුලුවන් විවිධ ප්ලැට්ෆෝම් ලෝකේ තිබුණා. හැබැයි 2004 මුල ආරම්භ වුණු ෆේස්බුක් එක මුලින්ම හාවර්ඩ් සරසවියේ ඉගෙන ගන්න අයට විතරයි විවෘත වුණේ. හැබැයි ඉක්මනටම ෆේස්බුක් එක මෙතනින් එහාට, තවත් සරසවි වලට පැතිරුණා. ඒ වේගය දෙගුණ තෙගුණ වෙමින් ෆේස්බුක් ඉක්මනටම ලෝකය පුරාම පැතිරුණා. අද වෙනකොට, මාකටින් ගැන ඉගෙනගන්නකොට පවා ෆේස්බුක් හරහා සිද්ධ වෙන මාකටින් ගැන ළමයි වෙනම ඉගෙන ගන්න තරමට ෆේස්බුක් කියන්නේ ලෝකේ කොටසක් වෙලා තියෙනවා.

 

හැබැයි ෆේස්බුක් මේ විදියට ලෝකේ කොටසක් වෙනකොට, ඒකත් එක්ක යම් යම් නරක දේවලුත් ඇතිවෙලා තියෙනවා. නිදසුනක් විදියට ගත්තොත්, මේ වෙනකොට ෆේස්බුක් එකට මිනිස්සු භයානක විදියට ඇබ්බැහි වෙන්න පටන් අරගෙන තියෙනවා. ඒ නිසාම තමයි ෆේස්බුක් එකෙන්ම විශේෂාංගයක් හඳුන්වලා දීලා තියෙන්නේ, දවසකට ෆේස්බුක් එකේ ගත කරන කාලය සීමා කරන්න. ඒ කියන්නේ දවසකට පැයක් ෆේස්බුක් ඉන්නවා කියලා අපි සෙටින්ග්ස් හැදුවොත්, පැයක කාලය ඉවර වෙනකොට ෆේස්බුක් ඇප් එකෙන් අපිට දැනුම්දෙනවා. අන්න ඒ වගේ.

 

හැබැයි තව ප්‍රශ්නයක් තියෙනවා. ෆේස්බුක් එකට දරුණු විදියට ඇබ්බැහි වෙලා ඉන්න සමහරුන්ට කිසිම අදහසක් නෑ තමන්ට එහෙම ඇබ්බැහියක් තියෙනවා කියලා. ඒ අය හිතන්නේ ඇබ්බැහි වෙන්න පුලුවන් මත්ද්‍රව්‍ය වලට, දුම්පානයට, සූදුවට වගේ දේවලට විතරයි කියලා. අන්න ඒ නිසා, අපි හිතුවා ෆේස්බුක් එකට ඇබ්බැහි වුණු කෙනෙක්ට තියෙන පොදු ලක්ෂණ කීපයක් ඉදිරිපත් කරන්න.

01. මූඩ් ෆික්ස් වෙන්න මරු ෆේස්බුක්

FB addiction symptoms

සාමාන්‍යයෙන් ජීවිතේ කිසිම දේකින් ලොකු සතුටක් ලැබෙන්නෙ නැද්ද? ගොඩක් වෙලාවට ඉන්නේ නෙගටිව් මූඩ් එකකද? හැබැයි ෆේස්බුක් එකට ගිහින් ඔහේ උඩ පල්ලෙහා යනකොට, එහෙම නැතිනම් ලයික් කමෙන්ට් කර කර ඉන්නකොට ජීවිතේ සතුට උදාවෙලා කියලා හිතෙනවද? ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ඔබට ෆේස්බුක් එක ඇබ්බැහියක් වෙලා කියන එක තමයි. ඒක හරියට මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා වගේම තමයි. ජීවිතේ වෙනත් කිසිම දේකින් සතුටක් ලබන්න, මූඩ් එක ෆික්ස් කරගන්න බැරුව යනවා. තමන්ගේ ජීවිතේට සතුට ගේන, මූඩ් එක ෆික්ස් වෙන එකම දේ අර ඇබ්බැහි වෙලා ඉන්න ඩ්‍රග් එක විතරක් වෙනවා. ඒ කියන්නේ ඔයා ඇබ්බැහි වෙලා ඉන්න ඩ්‍රග් එක ෆේස්බුක් කියන එක තමයි.

 

02. පැය ගණන් ෆේස්බුක් එකේ

FB addiction symptoms

සාමාන්‍යයෙන් අපි ඕන කෙනෙක් ෆේස්බුක් එකේ දවසකට සැරයක් පොඩි වෙලාවක් හරි ඉන්නවනේ. ඒක ඇබ්බැහියක් විදියට ගණන් ගන්න බෑ. හැබැයි ඇත්තටම ෆේස්බුක් එකේ ගත කරන කාලය අසීමාන්තික විදියට විශාලයි නම්, ඒ කියන්නේ පැය ගණන් වලින් ගණන් කරන්න පුලුවන් තරමට විශාලයි නම්, ඒ කියන්නේ ෆේස්බුක් ඇබ්බැහියක් වෙලා කියන එක. මේක ඇත්තටම කෙනෙක්ට නොදැනෙන්න තියෙන ඉඩ වැඩියි. හිතන්න, එක මොහොතකට පැය භාගය ගාණේ දවසකට හත් අට වතාවක් ෆේස්බුක් එකේ ඉන්නවා කියලා. ඒ අතරට ඔය විනාඩි පහ දහය ෆේස්බුක් යන එව්වත් තියෙනවා නම්, ඒ කියන්නේ දවසකට පැය හතරක් පහක් ෆේස්බුක් එකේ ඉඳලා. එතකොට අනික් අනිවාර්ය වැඩ වලට, නින්දට යන කාලයත් අතඇරියහම, ඇත්තටම අපිට වැඩ කරගන්න ඉතුරු වෙලා තියෙන්නේ පැය හතරක් පහක් තමයි. ආන්න ඒ කියන්නේ ඔබ අනිවාර්යයෙන්ම ෆේස්බුක් එකට ඇඩික්ට් වෙලා!

 

03. මයින්ඩ්ලස් ස්ක්‍රෝලින්ග්

FB addiction symptoms

අපි උඩ කිව්වනේ ෆේස්බුක් එකේ ඉන්න කාලය අතිශයින්ම වැඩි නම්, ඒ කියන්නේ ෆේස්බුක් ඇබ්බැහියක් වෙලා කියන එකයි කියලා. දැන් අපි හිතමු මෙහෙම ෆේස්බුක් එකට වෙලා පැය ගණන් හිටියට, ඇත්තටම කරන්නේ ෆීඩ් එකේ තියෙන දේවල් බලමින් ඔහේ පහළට පහළට ස්ක්‍රෝල් කරන එක කියලා, එතකොට පේන්න තියෙන අලුත් දේවල් ඉවර වුණහම පිස්සුවෙන් වගේ ෆීඩ් එක රීෆ්‍රෙෂ් කරනවා කියලා, ආන්න ෆේස්බුක් ඇබ්බැහියක් වෙලා කියන්න තියෙන අනිවාර්ය ලක්ෂණ. ඇත්තටම මේ මයින්ඩ්ලස් ස්ක්‍රෝලින් කියන්නේ, නිශ්චිත අරමුණක් නැතුව, ෆේස්බුක් ෆීඩ් එකේ තියෙන දේවල් ඔහේ සොම්බියෙක් වගේ බලමින් ඉන්න එක.

 

04. ෆේස්බුක් ඉමේජ් එක ගැන හරිම සැලකිලිමත්

FB addiction symptoms

දැන් සාමාන්‍යයෙන් අපි ඕනෙම කෙනෙක් අපේ ඉමේජ් එක ගැන, අපේ තත්වය ගැන හිතනවනේ. ඒක බොහොම සාමාන්‍ය දෙයක්. හැබැයි අපි කියමු අපි ඒ ගැන අනවශ්‍ය විදියට සැලකිලිමත් වෙනවා, මිනිස්සු අපි ගැන මොනවා හිතයිද කියන එක ගැන අනවශ්‍ය විදියට බය වෙනවා, කලබල වෙනවා කියලා. අන්න ඒක මානසිකව බලපාලා තියෙන ප්‍රශ්නයක් කියන එකට අපිට එකඟ වෙන්න සිද්ධ වෙනවනේ. දැන් හිතන්න ඔය තත්වය තියෙන්නේ ෆේස්බුක් එක සම්බන්ධයෙන් කියලා. ඒ කියන්නේ, තමන් දාන ස්ටේටස් එකකට මිනිස්සු කොයි විදියේ ප්‍රතිචාර දක්වයිද, ඒකෙන් තමන් ගැන මොනවා හිතාගනීද කියන එක ගැන පුදුමාකාර විදියට සැලකිලිමත් වෙනවා, බය වෙනවා, කණස්සලු වෙනවා නම් අන්න ඒක ප්‍රශ්නයක්. ෆේස්බුක් එකට දාන තමන්ගේ ෆොටෝස් ගැන, තමන් දාන කමෙන්ට් එකක් ගැන සෑහෙන්න හිතනවා නම්, ඒ කියන්නේ ප්‍රශ්නයක්. කොටින්ම, ෆේස්බුක් එක හරහා තමන් ලෝකෙට ප්‍රක්ෂේපණය කරන ඉමේජ් එක ගැන ඕනෑවට වඩා හිතනවා නම්, ඒක ෆේස්බුක් ඇබ්බැහියක් වෙලා කියන්න පුලුවන් රෝගලක්ෂණයක්!

05. සෞඛ්‍යයට, සමාජ ජීවිතේට, වැඩකටයුතු වලට බාධාවක්

FB addiction symptoms

සාමාන්‍යයෙන් ඕනම දෙයක් ඇබ්බැහියක් කියලා අපිට කියන්න පුලුවන් වෙන්නේ, ඒක අපේ එදිනෙදා ජීවිතේට බලපෑම් එල්ල කරන්න පටන් ගත්තහම තමයි. උදාහරණයක් විදියට, කොච්චරවත් අපේ ඇත්ත ජීවිතේ සමාජ සම්බන්ධකම් වලට හානියක් වෙලා කියමු. ඒ කියන්නේ ගෙදර මිනිස්සු බයිනවා කොයි වෙලෙත් ෆෝන් එක අතේ, ගෙදර මිනිස්සු එක්ක කතාබහක් වත් නැහැ කියලා. යාලුවෝ බණිනවා කෝල් එකක්වත් ආන්සර් කරන්නෙ නෑ කියලා. එහෙමනම් ඒක ඇබ්බැහියක් වෙලා. අපි කියමු පුටුවේ ඉඳගත්තට පස්සේ, විවේකයක් කියලා කරන්නෙත් ෆේස්බුක් යන එක නම්, ඒ නිසාම සෞඛ්‍ය ගැටළු පවා මතුවෙන්න පටන් අරගෙන නම්, ඒ කියන්නෙත් ෆේස්බුක් ඇබ්බැහියක් කියන එක. තමන්ට කරන්න තියෙන වැඩ සෑහෙන්න කල් දාන තත්වයක් තියෙනවා නම්, ඒ වැඩ කරනවා වෙනුවට කරන්නේ ෆේස්බුක් එකට ගිහින් ස්ක්‍රෝල් කර කර ඉන්න එක නම්, වැඩ අතපහු වෙනවා නම්, ඩෙඩ්ලයින් මිස් වෙනවා නම්, හැබැයි ෆේස්බුක් එන එක නවතින්නේ නැති නම්, ඒ කියන්නෙත් ෆේස්බුක් ඇබ්බැහියක් වෙලා කියන එක.

 

06. වැඩ කරන අතරෙත් ෆේස්බුක් එන්න ඕන

FB addiction symptoms

දැන් අපි කියමු අපි ඔෆිස් එකේ හරි ගෙදර හරි වැඩක් කරමින් ඉන්නවා. අපි කියමු රිපෝට් එකක් ලියමින් ඉන්නවා කියලා. එතකොට ඒක කරමින් ඉන්න අතරේ පොඩ්ඩක් විවේකයක් ගන්න ඕන කියලා හිතෙනවා. ඊට පස්සේ ෆෝන් එක අතට අරගෙන ෆේස්බුක් එනවා. මොකද වෙලා තියෙන්නේ, කවුද මැසේජ් කරලා තියෙන්නේ කියලා බලනවා. ආන්න ඒ කියන්නේ ගොඩක් දුරට ෆේස්බුක් ඇබ්බැහියක් වෙලා කියන එක. අපි වැඩ කරන වෙලාවට වැඩ කරන්න ඕන. පැය බාගෙකට සැරයක් විවේකයක් ගන්නවා කියන්නේ ඉඳගෙන ඉන්න තැනම ඉඳන් ෆේස්බුක් එකට එනවා කියන එක නෙවෙයි. පොඩ්ඩක් නැගිටලා රවුමක් ඇවිදලා එන එක. එහෙම නැතුව වැඩ කරන අතරවාරයේ විටින් විට ෆේස්බුක් එනවා කියන්නේ අනිවා ඇබ්බැහි වෙලා.

 

07. හොරෙන් හොරෙන් ෆේස්බුක්

FB addiction symptoms

අපිට යම් දෙයක් හොරෙන් කරන්න වෙනවා නම්, ඒකෙන් කියන්නේම එතන ගැටළුවක් තියෙනවා කියන එක තමයි. හා නැද්ද? උදාහරණයක් විදියට ඔෆිස් එකක් ගමු. සමහර ඔෆිස් වල ඔෆිස් නෙට්වර්ක් එකේ ෆේස්බුක් බ්ලොක් කරලා තියෙන්නේ. එහෙම බ්ලොක් කරලා නැතත්, වැඩ කරන අතරේ ෆේස්බුක් එකට ගිහින් කාලේ ගත කරන එක ඔෆිස් එකේ අනික් අය ඒ තරම් ධනාත්මකව ගන්නෙ නෑ. මේ කියන්නේ ඔෆීෂියල් වැඩ ගැන නෙවෙයි. පුද්ගලික ෆේස්බුක් වැඩ ගැන. දැන් එතකොට, ඔෆිස් එකේ ඉඳගෙනත් හොරෙන් ෆෝන් එකෙන් හරි ෆේස්බුක් එනවා නම්, ඒ කියන්නේ ගොඩක් දුරට ෆේස්බුක් එකට ඇබ්බැහි වෙලා කියන එක තමයි.

 

08. ජීවිතේම ඔන්ලයින්

FB addiction symptoms

මේක හැබැයි ෆේස්බුක් ඇබ්බැහියක්ම කියලා ගණන් ගන්න බෑ. සරලවම කියනවා නම්, ඔන්ලයින් හැරෙන්න, ඕෆ්ලයින් ජීවිතයක් නැති වෙන එක පොදුවේ වඩාත් විශාල ගැටළුවක රෝගලක්ෂණයක් වෙන්න පුලුවන්. හැබැයි ඒකටත් ෆේස්බුක් ඇබ්බැහිය දරුණු විදියට බලපාන්න පුලුවන්. මේකෙන් කියන්නේ, තමන්ගේ සම්පූර්ණ සමාජ සම්බන්ධතාවයන් රැඳෙන්නේ ඔන්ලයින් ජීවිතේ හරහා කියන එක. ඒ කියන්නේ, ගෙදර අය, ඇත්ත ලෝකේ ඉන්න යාලුමිත්‍රයෝ එක්ක සම්බන්ධකම් අඩු වෙලා හෝ නැත්තටම නැතිවෙලා ගිහිල්ලා නම්, තමන්ගේ යාලුවෝ කියලා ඉන්නේ සම්පූර්ණයෙන්ම ෆේස්බුක් ෆ්‍රෙන්ඩ්ස් ලිස්ට් එකේ ඉන්න අය නම්, ඒ කියන්නේ තමන් පහුගිය කාලේ කතාබස් කරලා තියෙන්නෙම චැට් එකේ විතරයි නම්, ඇත්ත ලෝකේ යාලුවෙක් එක්ක කතාබහක් කරලා නැතිනම් ඒක ජීවිතේම ඔන්ලයින් කියන්න කරුණක් වෙන්න පුලුවන්. ඇත්ත ලෝකේ මනුස්සයෙක්ව හම්බුවෙන එක, කතාබහ කරන එක, අඩු තරමේ ෆෝන් කෝල් එකක් ගන්න එක කරදරයක් විදියට දැනෙනවා නම්, ඊට වඩා ෆේස්බුක් මැසෙන්ජර් චැට් එක සුවපහසුයි නම්, අන්න ඒකත් මේ කියන කාරණයේ රෝගලක්ෂණයක් වෙන්න පුලුවන්.

09. ෆේස්බුක් ලොග් නොවුණොත් ලෝකේ කඩාවැටුණා වගේ

FB addiction symptoms

නිකමට හිතන්න, ෆෝන් එක රෙපයාර් එකකට දෙන්න වෙනවා. ඔෆිස් කම්පියුටර් එකේ ෆේස්බුක් යන්න බැහැ. එතකොට මොනවද දැනෙන්නේ? ලෝකෙම කඩාගෙන වැටුණා වගේද? ෆේස්බුක් එකේ මොනව වෙලාද, කවුරු මැසේජ් කරලද කියලා හිතට වදයක් ද? ෆෝන් එක අතට අරගෙන ෆේස්බුක් එකට ලොග් වෙනකල් ඉන්න බෑ, නලියනවා වගේ ගතියක් දැනෙනවද? ඒ කියන්නේ ෂුවර් එකටම ෆේස්බුක් ඇබ්බැහියක් වෙලා කියන එක තමයි. ඇත්තටම අපිට ෆේස්බුක් ඇබ්බැහියක් නැතිනම්, දවසක් දෙකක් ෆේස්බුක් එක පැත්ත පළාතේ නොයා හිටියත් ඒක අවුලක් වෙන්නෙ නෑ. හැබැයි ෆේස්බුක් එක ඇබ්බැහියක් ගාණට ගිහින් නම්, ෆේස්බුක් එකට දවසක් හරි නොයා ඉන්නකොට කාංසිය, හිතේ ව්‍යාකූල ගතිය විතරක් නෙවෙයි, සමහර විට ආතතිය, විශාදය පවා ඇතිවෙන්න පුලුවන්.

 

දැන් මේ ෆේස්බුක් ඇබ්බැහි ලක්ෂණ ඔබටත් තියෙනවද? එහෙම තියෙනවා නම්, වහාම ඒ ඇබ්බැහියෙන් ගැලවෙන්න ක්‍රම සහ විධි හොයාගන්න වෙනවා.  පාඩම් කරන අයට එහෙම සෝෂල් මීඩියා ඇබ්බැහිය, ස්මාට්ෆෝන් එකට තියෙන ඇබ්බැහිය වළක්වාගන්න කරන්න පුලුවන් දේවල් ගැන අපි කලිනුත් කතා කරලා තියෙනවා. ෆේස්බුක් ඇබ්බැහියෙන් මිදෙන්න කරන්න පුලුවන් දේවල් ගැන අපි ඉස්සරහට කියන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලටත් ඒ ගැන අදහසක් තියෙනවා නම්, කමෙන්‍ට් එකක් දාලා කියාගෙන යන්න.




Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!