zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

ඇන්ඩ්‍රොයිඩ් පාවිච්චි කරන අයට ගැලපෙන, ප්‍රයෝජනවත්, සරල සහ කුඩා ඇප්ස් කීපයක්!

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

 


දැන් කාලේ අපි ඕනම කෙනෙක් ගාව ස්මාට්ෆෝන් එකක් තියෙනවනේ. ස්මාට්ෆෝන් එකක් කියන්නේ බහුකාර්ය උපාංගයක් කියලා අමුතුවෙන් කියන්න වුවමනා නෑ. ඉස්සර අපි අත්ඔරලෝසුවකින්, එලාම් ඔරලෝසුවකින්, මියුසික් ප්ලේයර් එකකින්, කැමරාවකින් සහ කම්පියුටර් එකකින් පවා කරගත්තු දහසකුත් එකක් වැඩරාජකාරි කිසිම කරදරයක් නැතුව සාක්කුවේ තියෙන ස්මාට්ෆෝන් එකකින් කරගන්නවා. හැබැයි මෙහෙම දේකුත් තියෙනවා. ස්මාට්ෆෝන් එක එදිනෙදා පාවිච්චි කරන උපාංගයක් බවට පත් වෙලා තිබුණත්, ඇත්තටම ඉහළ ධාරිතාවයක් තියෙන, ඉහළ මට්ටමේ රැම් මතකයක් තියෙන ස්මාට්ෆෝන් එකක මිල ගණන් තවමත් ලංකාවේ සාමාන්‍ය මනුස්සයෙක්ට දරන්න පුළුවන් තරමට වඩා ඉහළින් තමයි තියෙන්නේ. ඒ නිසා, ගොඩක් අය මිලදී ගන්නේ මුලික මට්ටමේ හරි මධ්‍යම මට්ටමේ හරි ස්මාට්ෆෝන් එකක් තමයි. මේවායේ මිල සාමාන්‍ය මනුස්සයෙක්ට දරන්න පුලුවන් මට්ටමක තිබුණත්, මේ විදියේ ස්මාට්ෆෝන් එකක හාඩ්වෙයාර් වල ධාරිතාවයත් තියෙන්නේ මූලික හෝ මධ්‍යම මට්ටමේ. එතකොට ඔය බරපතල ඇප්ස් එහෙම මේ වල දුවන්න බෑ. ඒ වගේම, මතක ධාරිතාවයත් ඒ තරමට නැති නිසා, ගොඩක් ඇප්ස් ඉන්ස්ටෝල් කරන්නත් බෑ. ආන්න එතකොට තමයි, ප්‍රයෝජනයක් තියෙන, හැබැයි ඒ තරම් ඉඩක් හෝ දෘඩාංග හැකියාවක් ඉල්ලන්නෙ නැති, සරල සහ කුඩා ඇප්ස් වැදගත් වෙන්නේ.

ඒ නිසා, අන්න ඒ විදියේ ඇන්ඩ්‍රොයිඩ් පරිශීලකයන්ට ප්‍රයෝජනවත් වෙන, සරල සහ කුඩා ඇප්ස් කීපයක් තමයි මේ හඳුන්වා දෙන්න යන්නේ.


01. Birday

Simple and small apps that are highly useful

අපි ඉස්සර ස්මාට්ෆෝන් තිබුණු නැති කාලේ නම්, අපිට ජීවිතේට වැදගත් මිනිස්සුන්ගේ උපන්දින මතකයේ තමයි තියාගෙන හිටියේ. උපන්දින ගණනාවක් මතක් තියාගන්න ඕන නම්, ඒ කාලේ ඔය පොඩි පොකට් සයිස් ටෙලිෆෝන් ඉන්ඩෙක්ස් වලම, උපන්දින ලියන්නත් ඉඩක් තිබුණා. හැබැයි දැන් කාලේ වෙනස්. ගොඩක් උපන්දින ඔය ෆේස්බුක් වගේ සෝෂල් මීඩියා වලින්ම මතක තියාගෙන ඉන්නවා. අපිට උපන්දින වෙනම සටහන් කරගන්න ඕන නම්, ගූගල් කැලැන්ඩරේ හෝ වෙනත් ඒ වගේ කැලැන්ඩර් ඇප්ස් වලමත් ඒක කරන්න පුලුවන්. හැබැයි, සමහර වෙලාවට උපන්දින මතක තියාගැනීම වෙනුවෙන්ම විශේෂ පුංචි ඇප් එකක් තියෙනවා නම් වැඩේ සෑහෙන්න ලේසියි. ආන්න ඒකට ගැලපෙන ඇප් එකක් තමයි Birday කියන්නේ. මෙගාබයිට් කීපයයි වැය වෙන්නේ. පොඩි වෙලාවක් අරගෙන, අපේ හිතවත්ම අයගේ උපන්දින සෙට් එක මේකට ඇතුළත් කරන්න පුලුවන්. ඊට පස්සේ Birday ඇප් එකේ තියෙන විජට් එකත් හෝම්ස්ක්‍රීන් එකට දාගත්තහම, ලඟ ලඟම එන උපන්දිනත් කරදරයක් නැතුව පෙන්නුම් කරනවා. ආයෙ උපන්දින අමතක වෙයි කියලා බය වෙන්න වුවමනාවක් නෑ!

02. Vanilla Music

Simple and small apps that are highly useful

සාමාන්‍යයෙන් ඇන්ඩ්‍රොයිඩ් ස්මාට්ෆෝන් එකක් ගත්තහම, ඒකේ ඩිෆෝල්ට් එන මොකක් හරි මියුසික් ප්ලේයර් එකක් තියෙනවා. ඔය ගූග්ල් මියුසික් ප්ලේයර් වගේ එකක්. හැබැයි ඉතින් සමහරු කියනවා ඔය ඩිෆෝල්ට් මියුසික් ප්ලේයර්ස් එක්ක වැඩ කරන එක කරදරයි කියලා. විශේෂයෙන්ම ඔය මියුසික් ඩේටාබේස් එක එහෙම කළමනාකරණය කරගන්න එක අමාරුයි කියලා. එහෙම නම්, සරල, ඒත් පහසුවෙන් පාවිච්චි කරන්න පුලුවන් මියුසික් ප්ලේයර් එකක් හොයන කෙනෙක්ට ගැලපෙනම විකල්පයක් තමයි Vanilla Music කියන්නේ. හැබැයි ඉතින් මේකේ ඔන්ලයින් ස්ට්‍රීමින් බෑ. එහෙම නැතුව තමන් ගාව තියෙන මියුසික් ටික පහසුවෙන් කළමනාකරණය කරලා, ඕන වෙලාවට ඒවා ප්ලේ කරගන්න ඕන නම් තමයි මේක ගැලපෙන්නේ. ඇප් එකම මෙගාබයිට් 2 කට පොඩ්ඩයි වැඩි!

03. Lockwatch – Thief Catcher

Simple and small apps that are highly useful

ස්මාට්ෆෝන් යුගයේ විතරක් නෙවෙයි, මනුෂ්‍ය ශිෂ්ටාචාරේ මුල ඉඳලම තියෙන ගැටළුවක් තමයි හොර හතුරෝ කියන්නේ. ඉතින් ස්මාට්ෆෝන් වුණත් හොරු ගන්න, නැතිවෙන්න එහෙම පුලුවන්. හැබැයි ඉස්සර ෆෝන් වල වගේ නෙවෙයි. දැන් ස්මාට්ෆෝන් වලට තියෙන ආරක්ෂක උපක්‍රම සක්‍රිය කරලනම් තියෙන්නේ, අනවසරයෙන් කෙනෙක්ට ඇතුළු වෙන්න බෑ. දැන් මේ Lockwatch – Thief Catcher ඇප් එක අපේ ෆෝන් එක හොරකම් කරලා ස්ක්‍රීන් අන්ලොක් කරන්න යන කෙනෙක්ව වුණත්, නැතිනම් අපි එහෙ මෙහෙ වෙනකල් ඉඳලා අපේ ෆෝන් එකට රිංගලා ඒකේ තියෙන දේවල් මොනවද කියලා බලන්න හදන කෙනෙක්ව වුණත් අල්ලගන්න මරු. මේ ඇප් එක ඉන්ස්ටෝල් කරලා, අදාළ සෙටින්ග්ස් හදලා තිබ්බහම, කවුරුහරි ෆෝන් එකේ ලොක්ස්ක්‍රීන් එකට වැරදි කෝඩ් එකක් දීලා ඇතුළු වෙන්න හැදුවොත්, කෙලින්ම සෙල්ෆි කැම් එක ඔන් වෙලා ඒ කෙනාගේ ෆොටෝ එකක් ගන්නවා. ඊට පස්සේ ඒ ෆොටෝ එකයි, මේක සිද්ධ වෙච්ච තැන GPS කෝඩ් එකයි පටස් ගාලා අපි දීලා තියෙන ඊමේල් එකට එනවා! හැබැයි ඇප් එකේ සයිස් එක යන්තම් කිලෝබයිට් 325 යි!

04. MP3 Cutter and Ringtone Maker

Simple and small apps that are highly useful

දැන් අපි හැමෝම ආසයිනේ ඔය ෆෝන් එකේ හැමෝටම එකයි කියලා එන රින්ග්ටෝන් එක නැතුව, විශේෂ සිංදුවක් එහෙම රින්ග්ටෝන් එක විදියට දාගන්න. එතකොට අපේ ෆෝන් එකට කෝල් එකක් එනකොට ප්ලේ වෙන රින්ග්ටෝන් එක අපිටම විශේෂයි. ඇත්තටම ස්මාට්ෆෝන් වල තියෙනවා අපිට ඕන සිංදුවක් රින්ග්ටෝන් එකට දාගන්න පහසුකම. හැබැයි අපිට ඕන සිංදුව අපිට ඕන තැනින් රින්ග්ටෝන් එකට දාගන්න නම් බෑ. එතකොට අපි කියමු සිංදුව ප්ලේ වෙන්න පටන් ගන්න තත්පර පහක් යනවා කියලා. එතකොට අපේ ෆෝන් එක ඒ රින්ග්ටෝන් එකෙන් රින්ග් වෙන්නේ, කෝල් එකක් එන්න පටන් අරන් තත්පර පහකට පස්සේ. එහෙම නැතිනම්, අපි රින්ග්ටෝන් එකට දාගන්න ආස සිංදුවේ මුල් ටිකට අපි ආස නැතත්, ඇත්තටම රින්ග්ටෝන් එකට සෙට් වෙන්නේ ඒ ටික විතරක් වෙන්න පුලුවන්. ඔන්න ඔය ප්‍රශ්න ඔක්කොටම විසඳුමක් තමයි MP3 Cutter and Ringtone Maker ඇප් එක. මේකෙන් අපිට පුලුවන් ඕනම MP3 සිංදුවක් අපිට ඕන කෑල්ල විතරක් කපලා රින්ග්ටෝන් එකට දාගන්න. එහෙම නැතිනම් ලයිව් ඕඩියෝ රෙකෝඩ් කරලා, ඒක එඩිට් කරලා රින්ග්ටෝන් එකට දාගන්නත් පුලුවන්. මේ හැමදේම කරන මේ ඇප් එකේ සයිස් එක මෙගාබයිට් 2 යි!


05. ColorNote Notepad Notes

Simple and small apps that are highly useful

අපිට ස්මාට්ෆෝන් එකකින් තියෙන තවත් වැදගත් හැකියාවක් තමයි නෝට්ස් තියාගන්න එක. ගොඩක් දෙනෙක් කරන්න හොර වුණාට, ඇත්තටම අපිට කාර්යක්ෂමව අපේ වැඩ කරගන්න නම්, මේ නෝට්ස් තියාගන්න හැකියාව සෑහෙන්න වැදගත්. මේ නෝට්ස් තියාගන්න වැඩේටම හදපු ඇප්ස් සෑහෙන්න ප්‍රමාණයක් ප්ලේ ස්ටෝර් එකෙන් හොයාගන්න පුලුවන්. හැබැයි ඉතින් සැහැල්ලු ප්‍රමාණයක, අඩු මතකයක් පාවිච්චි කරන මේ විදියේ නෝට්පෑඩ් ඇප්ස් නම් හොයාගන්න අමාරුයි. ඒත් බැරි නෑ. ColorNote Notepad Notes කියන්නේ ඒ වගේ එකක්. මේකෙන් අපිට සාමාන්‍ය නෝට්ස් වගේම චෙක් ලිස්ට්, ටු-ඩූ-ලිස්ට් වගේ දේවලුත් කරගන්න පුලුවන්. නෝට්ස් වලට රිමයින්ඩර් දාන්නත් පුලුවන්. අපේ නෝට්ස් වලට පාස්වර්ඩ් දාලා ආරක්ෂා කරගන්න එහෙමත් පුලුවන්. විවිධ පාටින් අපිට අවශ්‍ය විදියට අපේ නෝට්ස් කළමනාකරණය කරගන්නත් පුලුවන්. මේ හැමදේම කරන මේ ඇප් එක මෙගාබයිට් 1 කට වැඩි වෙන්නෙත් නෑ!

06. Google Maps GO

Simple and small apps that are highly useful

හරි, Google Maps කියන්නේ මොකක්ද කියලා කාටවත් අමුතුවෙන් කියල දෙන්න ඕන නැහැනේ. අපිට ඕනම පාරක් තොටක්, ඕනම තැනක් හොයාගන්න දැන් වෙනකොට තියෙන විශ්වසනීයම ඩිජිටල් ක්‍රමය කියලත් Google Maps වලට කියන්න පුලුවන්. හැබැයි ඉතින් Google Maps සාමාන්‍ය ඇප් එකේ බර මෙගාබයිට් 52 ක් වගේ වුණාට, පාවිච්චි කරනකොට ඕක ගිගාබයිට් එකකට කිට්ටු වෙනවා. හැබැයි Google Maps GO කියන්නේ ඒකේ සැහැල්ලු සංස්කරණය. සයිස් එකෙන් කිලෝබයිට් 522 ක් වගේ වෙන්නේ. හැබැයි ඒ සයිස් වුණාට පාරක් හරි තැනක් හරි හොයාගන්න වගේ දෙයක්, අඩු රැම් ධාරිතාවක් තියෙන ෆෝන් එකක වුණත් බොහොම සුමටව කරගන්න පුලුවන්.

07. Facebook Lite

Simple and small apps that are highly useful

ස්මාට්ෆෝන් අතේ තියෙන අයගෙන් කවුද ෆේස්බුක් පාවිච්චි කරන්නෙ නැත්තෙ කියන්නකො. හැබැයි ඉතින් දැන් කාලේ සාමාන්‍යයෙන් ෆේස්බුක් ඇප් එක පහසුවෙන්ම මෙගාබයිට් 160 ත් පනිනවා. ඒකට අපේ අනං මනං ඩේටා එකතුවෙනකොට හිතාගන්න පුලුවන්නේ සයිස් එක. අඩු ගාණේ ගිගාබයිට් 1ක් පනිනවා. ඉතින් ඔය එන්‍ට්‍රි ලෙවල් එකේ ස්මාට්ෆෝන් වලට එච්චර බර ඇප් එකකට වඩා ගැලපෙන්නේ Facebook Lite තමයි. ආයෙ මෙගාබයිට් 1.9 ක් වගේ සයිස් එක. හැබැයි පාවිච්චියේ එහෙම සැලකිය යුතු අමාරුවක් නෑ. එකම දේ, සාමාන්‍ය Facebook ඇප් එකේ වගේ පාවිච්චිය පහසු කරන විවිධ පහසුකම් ඇත්තෙ නෑ. උදාහරණයක් විදියට, නිව්ස්ෆීඩ් එකේ අපි බලාගෙන යනකොට ලෝඩ් වෙන්න ටිකාක් විතර වැඩි වෙලාවක් යන්න පුලුවන්. හැබැයි අර සාමාන්‍ය Facebook ඇප් එකේ තරම් ඩේටා වැයවෙන්නෙත් නෑ. එතකොට ඔය ප්‍රොෆයිල් ෆොටෝ එහෙම අපිට පෙන්නන්නේ අඩු රිසොල්‍යුෂන් එකකින්. හැබැයි ඉතින් ඩේටා අඩුවෙන් වැය කරගෙන, ෆෝන් එකේ මෙමරියටත් බරක් නොවී ෆේස්බුක් යන්න නම් මේක තමයි ඇප් එක!

තව කාරණයක්. මේ ප්‍රයෝජනවත් ඒත් සරල සහ කුඩා ඇප්ස් හරියන්නේ මූලික මට්ටමේ හෝ මධ්‍යම මට්ටමේ ස්මාට්ෆෝන් වලට කියලා එකක් නෑ. ඉහළ මට්ටමේ ස්මාට්ෆෝන් එකකට වුණත්, මේ ගොඩක් ඇප්ස් වලින් මතක ඉඩත් ඉතුරු කරගෙන, සෑහෙන්න වැඩක් ගන්නත් පුලුවන්.


Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!