මිනිසුන් සඳහා බහුල ව භාවිත කෙරෙන පිළිකා ප්‍රතිකාර ක්‍රමයක් ලොව ප්‍රථම වරට සර්පයෙකු සඳහා සාර්ථක ව යොදා ගැනීමට බ්‍රිතාන්‍යයේ පශු වෛද්‍යවරුන් පිරිසක් සමත් ව තිබෙනවා. මෙම ඓතිහාසික ප්‍රතිකාරය ලබා දී ඇත්තේ එංගලන්තයේ චෙස්ටර් සත්වෝද්‍යානයේ ජීවත් වන ‘ජෝඩී ෆොස්ටර්’ නම් දැවැන්ත පිඹුරෙකුටයි.
වයස අවුරුදු 23ක් වන මෙම රෙටිකියුලේටඩ් පයිතන් පිඹුරා මීටර් 4.5ක් පමණ දිගින් යුක්ත වන අතර, බරින් කිලෝග්‍රෑම් 50ක් පමණ වනවා. කලක පටන් ආහාර ගැනීම ප්‍රතික්ෂේප කිරීම සහ අලස ලෙස හැසිරීම හේතුවෙන් සත්වෝද්‍යාන කාර්ය මණ්ඩලය කළ පරීක්ෂාවක දී මෙම පිඹුරාගේ හනු ප්‍රදේශයේ මාරාන්තික පිළිකා තත්ත්වයක් හටගෙන ඇති බව තහවුරු වී තිබුණා. පළමු ව සැත්කමක් මඟින් එම පිළිකාමය කොටස ඉවත් කළ ද, එය නැවතත් වර්ධනය වන බව නිරීක්ෂණය වී තිබුණා.
පිඹුරාගේ ජීවිතය දැඩි අවදානම් තත්ත්වයක පැවති බැවින්, චෙස්ටර් සත්වෝද්‍යානයේ පශු වෛද්‍ය නිලධාරී ඉයන් ඈෂ්පෝල් සහ ලිවර්පූල් විශ්වවිද්‍යාලයේ විශේෂඥයෙකු වන හෝසේ අල්වාරෙස් පිකෝනෙල් ඇතුළු කණ්ඩායමක් එක් j මෙම සතා සඳහා ‘විද්‍යුත් රසායනික චිකිත්සාව’ (Electrochemotherapy) ලබා දීමට තීරණය කළා. වාර්තා වන අන්දමට සර්පයෙකු සඳහා මෙම ප්‍රතිකාරය යොදාගත් ලොව පළමු අවස්ථාව මෙයයි.
පිළිකා මර්දන ඖෂධයක් වන බ්ලියෝමයිසින් සමඟ නිශ්චිත ව පාලනය කරන ලද විද්‍යුත් තරංග සංයෝජනය කරමින් මිනිත්තු 90ක පමණ කාලයක් මෙම ප්‍රතිකාරය සිදු කර තිබෙනවා. මෙම පිඹුරාගේ ඇති දැවැන්ත ප්‍රමාණය නිසා ශල්‍යාගාරයේ සාමාන්‍ය ඇඳක් ප්‍රමාණවත් නොවූ බැවින්, ඇඳන් දෙකක් එකට සම්බන්ධ කර ඇයව ඒ මත රඳවාගැනීමට වෛද්‍යවරුන්ට සිදු ව තිබුණා.
මෙම ප්‍රතිකාරයෙන් මාස කිහිපයකට පසු ‘ජෝඩී ෆොස්ටර්’ මේ වන විට සම්පූර්ණයෙන් ම සුවය ලබා ඇති අතර, ඇය යළිත් සාමාන්‍ය පරිදි ක්‍රියාකාරී වී ආහාර ගැනීම ද ආරම්භ කර තිබෙනවා. සර්පයින්ට විශාල ගොදුරු ගිලීමේ දී සිය හනුව විශාල ලෙස පුළුල් කිරීමට සිදු වන අතර, මෙම ප්‍රතිකාරයෙන් පසු ඇයට කිසිදු අපහසුවකින් තොර ව ගොදුරු ග්‍රහණය කර ගැනීමට සහ ගිල දැමීමට හැකි බව සත්වෝද්‍යාන කාර්ය මණ්ඩලය සඳහන් කරනවා.
from Vidusara Science Magazine https://ift.tt/6UpzPnb
via Magazine






Post a Comment