පෘථිවි ඉතිහාසයේ මේ දක්වා විසූ විශාලතම අපෘෂ්ටවංශී සත්ත්වයා කවරෙක්දැයි පසුගිය අප්‍රේල් 23 බ්‍රහස්පතින්දා Nature ජර්නලයේ පළ වූ වාර්තාවකින් දැක්වෙනවා.
වසර මිලියන 145 කට ඉහත සිට වසර මිලියන 66 කට ඉහත දක්වා භූ ඉතිහාසයේ පැවැති ක්‍රිටේසීය අවධියේ ඩයිනොසෝරයන් මිහිතලය මත රජ කරන විට අපෘෂ්ටවංශී සත්ත්ව පරිණාමයේ මුදුන් මල්කඩක් මෙන් සාගරයේ බිහි වූ මෙම දැවැන්තයා අන් කවරෙකුවත් නොව යෝධ බූවල්ලන් විශේෂයක් බවයි එම වාර්තාව පෙන්වා දෙන්නේ.
වරල් දැරූ බූවල්ලන්ගේ ෆොසිලභවනය වූ හනු 27 ක් සියුම් පරීක්ෂණයට ලක් කිරීමෙන් මෙම දැවැන්තයා හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව ක්‍රිටේසීය අවධියේ සාගරවල විසූ අග්රස්ථ විලෝපීන් සියල්ල ම පෘෂ්ටවංශී සතුන් ලෙස පිළිගෙන තිබූ මතය මෙයින් අභියෝගයට ලක් වෙනවා.
මේ දක්වා ක්‍රිටේසීය සාගරවල ආහාර ජාලයේ අග්රස්ථ විලෝපීන් ලෙස හඳුනාගෙන තිබුණේ මීටර් 17 ක් (අඩි 56) දක්වා විශාල වූ මොසැසෝර් සහ මීටර් 12 (අඩි 39) දක්වා විශාල වූ ප්ලෙසියොසෝර් යන සාගරවාසී උරග කාණ්ඩ දෙකයි.
ඉහත Nature ජර්නල වාර්තාවේ සහාය කතුවර ජපානයේ හොකයිඩෝ සරසවියේ පාෂාණිධාතු විද්‍යාඥ යෂුහිරෝ අයිබා සඳහන් කරන අන්දමට ඉහත අනාවරණය සඳහා ජපානයෙන් සහ වැන්කුවර් දූපතෙන් මෙයට පෙර සොයාගත් වරල් සහිත බූවල්ලන්ගේ ෆොසිලභවනය වූ හනු 15 ක් සහ ජපානයෙන් අලුතෙන් සොයාගත් වරල් සහිත බූවල්ලන්ගේ ෆොසිල හනු 12 ක් පර්යේෂකයන්ගේ අවධානයට ලක් වී තිබෙනවා.
එම ෆොසිල හනු 27 අයත් වන්නේ දැනට වඳ වී ගොස් ඇති Nanaimoteuthis jeletzkyi සහ Nanaimoteuthis haggarti යන වරල් දැරූ බූවල්ලන් විශේෂ දෙකටයි.
ඔවුන් ක්‍රිටේසීය අවධියේ සාගරවල විසූ බූවල්ලන් බව එම ෆොසිල හනු වල වයස නිර්ණයෙන් පැහැදිලි වෙනවා.
වර්තමානයේ වෙසෙන වරල් සහිත බූවල්ලන්ගේ දිග ඔවුන්ගේ බොහෝ අවයව දරා ගනිමින් ඇස්වලට ඉහළින් පිහිටන පේශිමය බෑගයක් වැනි ප්රාවරණ කුහරයේ දිග මෙන් 4.2 වාරයක් වෙනවා.
තව ද ප්රාවරණ කුහරයේ දිග ඔවුන්ගේ හනුවල දිග සමඟ ද අනුපාතික සම්බන්ධතාවක් පෙන්වනවා.
මෙම දත්ත පදනම් කර ගනිමින් කළ ගණනයන් මඟින් ඉහත පර්යේෂකයන් විසින් N. jeletzkyi විශේෂයේ බූවල්ලන් අඩි 10 සිට අඩි 26 (මීටර් 3 සිට මීටර් 8) දක්වා දිගැති වූ අතර N. haggarti විශේෂයේ බූවල්ලන් අඩි 23 සිට අඩි 62 (මීටර් 7 සිට මීටර් 19) දක්වා දිගැති වූ බව ඉහත වාර්තාවෙන් පෙන්වා දෙනවා.
ඒ අනුව Nanaimoteuthis haggarti විශේෂයට අයත් බූවල්ලන් අඩි 62 ක් (මීටර් 19) දක්වා දිගති දේහයන් සහිත ව ක්‍රිටේසීය අවධියේ සාගරවල සියලු සතුන් අතර දැවැන්තයන් මෙන් පමණක් නොව ආහාර ජාලයේ අග්රස්ථ විලෝපීන් ලෙස ද විසූ බවට එම වාර්තාවේ දැක්වෙනවා.
වර්තමානයේ වෙසෙන අපෘෂ්ටවංශී සතුන් අතර විශාලතම ජීවමාන විශේෂය වන යෝධ දැල්ලාගේ (Architeuthis dux) දිග අඩි 40 (මීටර් 12) දක්වා වෙනවා.
ප්‍රේමශාන්ත කුමාරසිරි
from Vidusara Science Magazine https://ift.tt/6G4eYUN
via Magazine




Post a Comment