එක්සත් රාජධානියේ ආහාර ප්‍රමිති ඒජන්සිය (FSA), රසායනාගාරවල වගා කරන ලද මස්, කිරි නිෂ්පාදන සහ සීනි පරිභෝජනය සඳහා අනුමත කිරීමේ ක්‍රියාවලියකට යටත් කර ඇති අතර, බලාපොරොත්තු වූවාටත් වඩා කලින් එවැනි නිෂ්පාදන වෙළෙඳපොළට පැමිණෙනු ඇති බව වාර්තා වනවා. කුඩා පරිමාණයේ රසායනික කර්මාන්තශාලාවල වගා කෙරෙන මේ තාක්ෂණයෙන් එක්සත් රාජධානිය පෙරමුණේ පසුවෙතත්, එම නිෂ්පාදන වෙළෙඳපොළට පිවිසීම සඳහා මෙතෙක් කල් ගත ව ඇත්තේ, අවහිර වන පරිද්දෙන් පනවා ඇති නීති රෙගුලාසි හේතුවෙන් බව පර්යේෂකයන් පෙන්වා දෙනවා. සෛල මඟින් රසායනික ව වගා කරන තාක්ෂණයට ඉඩහසර ලබා දීමේ එක් පියවරක් වශයෙන් පසුගිය මාසයේ දී සුනඛයන් සඳහා වගා කෙරෙන මස්වලට වෙළෙඳපොළට පිවිසීමට අවසර ලබා දෙනු ලැබුණා.
විද්‍යාගාරවල වැවෙන මස් මිනිස් පරිභෝජනය සඳහා අනුමත කළ ප්‍රථම රට බවට පත් වූයේ සිංගප්පූරුවයි. 2020 දී සිංගප්පූරුව ගත් මේ තීරණයෙන් පසු 2023 දී ඇමරිකා එක්සත් ජනපදයත්, 2024 දී ඊශ්‍රායලයත් විද්‍යාගාරවල වැඩෙන මස් මානව පරිභෝජනය සඳහා අනුමත කළා. කෙසේ නමුත් ඇමරිකාව තුළ ඇති ඇලබාමා සහ ෆ්ලොරීඩා යන ප්‍රාන්ත ද ඉතාලිය ද මේ ආහාර භාවිතය තහනම් කර තිබෙනවා.
FSA උසස් තාක්ෂණික ආහාර සමාගම් සහ විද්වතුන් සමඟ එක් ව නව රෙගුලාසි සකස් කිරීමට කටයුතු කරන අතර, වසර දෙකක කාලය තුළ රසායනාගාරවල වගා කරන ලද නිෂ්පාදන දෙකක ආරක්ෂිත තක්සේරුව සම්පූර්ණ කිරීමට ඉලක්ක කරගෙන සිටිනවා. පාරිභෝගිකයාගේ සුරක්ෂිතතාව ප්‍රමුඛත්වයේ ලා සලකන බවත්, සමීප සහයෝගීතාවයෙන් ශක්තිමත් රෙගුලාසි රාමුවක් සහතික කරන බවත්, FSA හි ප්‍රධාන විද්‍යාඥ මහාචාර්ය රොබින් මේ සඳහන් කරනවා.
BBC ඇසුරෙනි.
සෞන්දර්ය සෙනරත්
from Vidusara Science Magazine https://ift.tt/yrzaOmg
via Magazine
Post a Comment