zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

කෘත්‍රිම යකාගේ නො නිමි පිපාසය

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.


පසුගිය සති කිහිපයක කාලය තුළ ලෝ වැසියන්ට මින් පෙර නොවූ විරූ අධික උෂ්ණත්වයකට මුහුණ පාන්නට සිදු වුණා. දිය පොදක් පානය කිරීමට හෝ ස්නානය කරගැනීමට ලැබෙන තෙක් අපේ මුළු සිරුරම ඇසෙන නො ඇසෙන ගාණට විලාප තැබුවා.

මිනිස් සිරුරට මෙන් ම යන්ත්‍ර සූත්‍රවලට ද සිසිලනය අවශ්‍යයි. මෝටර් රථයකට රේඩියේටරයක් ද මේස පරිගණකයක මධ්‍යම සැකසුම් ඒ්කකය යා ව සිසිලන පංකාවක් ද සවි කෙරී ඇත්තේ එනිසයි. මේ ආකාරයට යන්ත්‍රය හෝ අදාළ පද්ධතියේ විශාලත්වය සහ ඉන් ඉටු කෙරෙන කාර්යයේ භාරධූරත්වය වැඩි වන තරමට ඒවායේ රත් වීම පාලනය කිරීමේ අවශ්‍යතාවය ද ඉහළ යනවා.

ලෝකයට තාක්ෂණය ව්‍යාප්ත කිරීමේ බිහිදොරවල් ලෙස ක්‍රියා කරන මහා පරිමාණ තාක්ෂණ සමාගම් මේ ගැටලුවෙන් නිතිපතා බැට කනවා. ඔවුන් සිසිලන අවශ්‍යතා සඳහා පමණක් වසරකට පරිභෝජනය කරන ජල පරිමාව අති විශාලයි. නමුත් කෘත්‍රිම බුද්ධිමය යෙදවුම්වල නැඟීමත් සමග ඒ ජල පරිභෝජනය වඩාත් කැපී පෙනන ලෙස ඉහළ ගොස් ඇති බව Associated Press ඉකුත් දා වාර්තා කළා.

තම ක්‍රියාදාමය තුළ මිලාධික අර්ධසන්නායක මෙන් ම අධික වූ ජල අවශ්‍යතා ඇති වන බව උත්පාදක කෘත්‍රිම බුද්ධිය වර්ධනය කිරීමෙහි ලා මුදල් වැඩි වැඩියෙන් පොම්ප කිරීමේ ප්‍රමුඛයන් වන මයික්‍රොසොෆ්ට් Open AI සහ Google වැනි සමාගම් පිළිගෙන තිබෙනවා. 2021 – 2022 අතර කාලයේ තාක්ෂණ සමාගම්වල ජල ඉල්ලුම 34%කින් ඉහළ ගොස් තිබුණා. එය ලීටර් වලින් නම් බිලියන 6.4ක ජල පරිමාවක්.

කෘත්‍රිම බුද්ධයේ පාරිසරික බලපෑම ගැන විමසිල්ලෙන් පසු වන කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ විද්‍යාඥ Shaolei Ren සඳහන් කරන්නේ මේ ඉහළ ගිය ජල ඉල්ලුමේ ප්‍රධානතම සාධකය වන්නේ කෘත්‍රිම බුද්ධිය බවයි. 2023 දී පළ වූ පර්යේෂණ වාර්තාවකින් දැක්වෙන පරිදි ChatGPT-3හි පුහුණු කිරීම් කටයුතු සඳහා පමණක් ජල ලීටර 700,000ක් වැය වී තිබෙනවා. අදටත් ප්‍රශ්න 25ත් 50ත් අතර අසන පරිශීලකයෙකු වෙනුවෙන් GPT – 3 සිසිලනය සඳහා මිලිලීටර 500ක වතුර බෝතලයක් වැය වනවා.

ChatGPT නිපදවූ OpenAI වෙත වැඩිම මුදල් ආයෝජනයක් සිදු කරන Microsoft සමාගමෙන් මේ ගැන විමසූ විට ඔවුන් පවසා තිබෙන්නේ මෙවැනි සුවිශාල පද්ධතීන් වඩාත් කාර්යක්ෂම කිරීමෙන් විසඳුම් ළඟා කරගත හැකි බවයි.

2030 වන විට මේ අතිවිශාල ජල පරිභෝජනය දුරැර දා තිරසාර ඉලක්ක වෙත පිවිසීමේ අරමුණින් සිය විමෝචනයන් විශ්ලේෂණය කරමින් සිටින බව Microsoft සඳහන් කරනවා. එසේ ම පුනර්ජනනීය බලශක්ති පරිභෝජනය වැඩි කිරීමට සහ අනෙකුත් පරිසර හිතකාමී ව්‍යාපෘති වෙනුවෙන් මුදල් ආයෝජනය කිරීමට ද සූදානමින් පසු වන බව සඳහන් කරනවා.

Associated Press වෙත අදහස් දක්වමින් Open AI සමාගම ‘විසල් භාෂා මෘදුකාංග පුහුණු කිරීමේ හා පවත්වාගෙන යාමේ දී දැඩි ලෙස බලශක්තිය සහ ජලය පරිභෝජනය කරන’ බව හඳුනාගෙන ඇති බවත් අනාගතයේ දී සිය පද්ධතීන්ගේ කාර්යක්ෂමතාව ඉහළ දැමීම මඟින් එම දුර්වලතා මඟහැරීමට කටයුතු කරන බවත් ඉස්මතු කර තිබුණා. මේ සඳහා යෝජනාවලියක් ද මේ වන විට යෝජනා වී තිබෙනවා.

එහි එක් විසඳුමක් වන්නේ කෘත්‍රිම බුද්ධිමය පරිගණනයන් සඳහා අඩු බලශක්තියක් වැය වන පරිදි නවීකරණය කිරීමයි. වඩාත් සියුම් සහ වැඩිදියුණු කරන ලද ඇල්ගොරිතම සහ දෘඩාංග ගොඩනැංවීම මඟින් බලශක්ති සහ ජල ඉල්ලුම අවම කරගත හැකියි.

නිරන්තර සිසිලනයක් අවැසි පද්ධතීන් ජලය තුළ ම ගිල්වා තැබීම තවත් එක් නිර්මාණාත්මක විසඳුමක්. 2018 වසරේ දී දෙවසරක කාලයකට Microsoft සතු දත්ත මධ්‍යස්ථානයක් Orkney වෙරළ තීරයට ඔබ්බෙන් ගිල්වා දැමුණා. අධ්‍යයන කාල පරිච්ඡේදයෙන් අනතුරුව 2020 දී එය ගොඩගැනුණු අතර රැස් කරගත් දත්ත මඟින් අනාවරණ වී තිබුණේ එය පාරිසරික ව වාසි දායක වන බවයි. මහා පරිමාණ ජල පරිමාවක් ගිල දමන කෘත්‍රිම බුද්ධිමය යෙදවුම් දරන සුපිරි පරිගණක ද නුදුරු අනාගතයේ ජල මූලාශ්‍ර තුළ ගිල්වා ක්‍රියාකරවීම වඩා වාසි දායක සහ ප්‍රායෝගික ද වනු ඇති බව ඒ අනුව පෙනී යනවා.

සත්‍ය හෙට්ටිආරච්චි

Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!