zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

සිකුරු ග්‍රහලොවේ දිවා පැත්තේ ඔක්සිජන් අඩංගු බව හඳුනා ගැනෙයි

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.



සිකුරු ග්‍රහලොවේ දිවා ආලෝකය ඇති පැත්තේ එයට අයත් විෂ වලාකුළුවලට ඉහළින් පරමාණුක ඔක්සිජන් ඇති බවට පැහැදිලි සලකුණු ඍජු ව ම හඳුනාගෙන තිබෙනවා. මීට පෙර සිකුරු වායුගෝලයේ පරමාණුක ඔක්සිජන් ඇති බවට සෛද්ධාන්තික ආකෘති මඟින් දැන තිබූ අතර එහි රාත්‍රි පැත්තේ පරමාණුක ඔක්සිජන් තිබෙන බව ඍජු ව ම දැන තිබූණා. එහෙත් එහි දිවා පැත්තේ පරමාණුක ඔක්සිජන් ඇති බව හඳුනා ගැනීම සිකුරු වායුගෝලයේ ගතිකත්වය සහ එහි සංසරණ රටාවන් පිළිබඳ නව දැක්මක් ලබා දෙන බව මේ පිළිබඳ පසුගිය නොවැම්බර් 7 වැනි දින Nature Communications ජර්නලයෙහි පළ කර තිබෙන පර්යේෂණ වාර්තාවේ ප්‍රධාන කතුවර ජර්මන් ගුවන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ භෞතික විද්‍යාඥ Heinz – Wilhelm Hubers පවසනවා.

සිකුරු යනු තොරතුරු දැනගැනීමට විද්‍යාඥයන් හට නො ඉවසිලිමත් ආශාවක් ඇති ග්‍රහලොවක්.
බොහෝ කරුණුවලින් එය පෘථිවියට සමාන වුවත් සමහර කරුණුවලින් සම්පූර්ණයෙන් ම පොළොවට වඩා අප්‍රසන්න ලෙස වෙනස් ලෝකයක්. එහි ස්කන්ධය සහ සංයුතිය පොළොවට සමාන වුවත් අනෙක් අතට ජීවයෙන් පිරි තෙත්, සාරවත්, හරිත ලොවක් වන පෘථිවිය මෙන් නො ව සිකුරු ග්‍රහලොව මාරාන්තික නරාවලක් වෙනවා. වැඩියෙන් ම කාබන් ඩයොක්සයිඩ් වායුව අඩංගු එහි හුස්ම හිර කරන ඝන වලාකුළු මඟින් නිර්මාණය කර ඇති හරිතාගාර වාතාවරණය හේතුවෙන් මතුපිට සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 464 ක් පමණ වෙනවා.
මේ වලාකුළු මගින් සිකුරු මතුපිටට අම්ල වර්ෂා පතිත කරන අතර සම්පූර්ණ වායුගෝලය ම ග්‍රහලොව වටා ඉමහත් වේගයකින් කරකැවෙනවා. සිකුරු ගේ වලාකුළු මුදුන්වලට පහළින් පැයට කිලෝ මීටර් 700 ක පමණ වේගයෙන් සුළං හමා යනවා. එහෙත් පෘථිවියේ දැනට වාර්තාගත වැඩිම සුළං වේගය වාර්තා වන්නෙ පැයට කිලෝ මීටර් 407 ක වේගයෙන් හැමූ හරිකේනයක් තුළිනුයි.

පරමාණුක ඔක්සිජන් කියන්නේ ඔබ ආශ්වාස කරන අණුක ඔක්සිජන් වැනි පරමාණු දෙකක් එකට බැඳී තිබෙන ඔක්සිජන් අංශු නො ව වෙනත් පරමාණු සමග පහසුවෙන් බැඳීමට පෙළඹෙන ඉහළ ප්‍රතික්‍රියාකාරිත්වයක් තිබෙන තනි ඔක්සිජන් පරමාණුයි.
සූර්ය ෆෝටෝන් අංශු මඟින් පෘථිවි වායුගෝලයේ අණුක ඔක්සිජන්වල සිදු වන ප්‍රකාශ වියෝජනය හේතුවෙන් එහි ඉහළ මට්ටම්වල පරමාණුක ඔක්සිජන් බහුල ව අඩංගු වෙනවා. සිකුරු වායුගෝලය තුළත් මීට සමාන ක්‍රියාවලියක් සිදු වනු ඇතැයි විද්‍යාඥයින් සිතනවා. එහි වායුගෝලයේ ප්‍රධාන වායුව ලෙස අඩංගු කාබන් ඩයොක්සයිඩ් අණු මත හිරු එළිය වැදීමෙන් සිදු වන ප්‍රකාශ වියෝජනය නිසා ඒවා පරමාණුක ඔක්සිජන් සහ කාබන් මොනොක්සයිඩ් බවට බිඳ වැටෙනවා.

කාබන් මොනොක්සයිඩ් අණු ද ප්‍රකාශ වියෝජනයට ලක් විය හැකියි. මේ වෙන් වන පරමාණු සිකුරු ග්‍රහලොවේ රාත්‍රි පැත්තට ගම කළ විට ඒවා නැවත කාබන් ඩයොක්සයිඩ් අණු සාදමින් සංයෝජනය වෙනවා.
ඉහත පර්යේෂණයේ ප්‍රධානී Hubers සහ ඔහුගේ කණ්ඩායම විසින් පෘථිවි වායුගෝලයේ ස්ථර ගෝලයෙහි ගමන් කරන Stratospheric Observatory for Infrared Astronomy (SOFIA) නම් ගුවන් යානයේ සිට වෙනස් වාර තුනක දී සිකුරු ග්‍රහලොවේ ස්ථාන 17 කින් දත්ත ලබාගෙන තිබෙනවා. ඒවායින් 7 ක් දිවා පැත්තෙන් ද, 9 ක් රාත්‍රි පැත්තෙන් ද, එකක් දිවා හා රාත්‍රි අර්ධ අතර තිබෙන ආන්තික කලාපයෙන් ද වෙනවා.
මේ පිහිටීම් 17 න් ම පරමාණුක ඔක්සිජන් හඳුනාගත් අතර කිලෝ මීටර් 100 ක් පමණ ඉහළින් එය ඉහළ ම සාන්ද්‍රණයක පැවතුණා.

Science alert සහ Nature Communications ඇසුරෙනි.

ප්‍රේමශාන්ත කුමාරසිරි

 




Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!