zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

කාල විස්තාරණය ( Time dilation )

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.


ඇල්බට් අයින්ස්ටයින්, විශ්වයෙන් unlock කරගත්තු එක රහසක් තමයි මේ කාල විස්තාරණය කියල කියන්නෙ. එයා මේක ගැන කියන්න කලින් විද්‍යාඥයො හිතුවෙ විශ්වයේ හැම තැනම කාලය එක විදිහට ගලාගෙන යනව කියල. හැබැයි ඇල්බට් අයින්ස්ටයින්, එයාගෙ සාපේක්ෂතාවාදයෙන් කිව්ව කාලය, විශ්වයේ තැනින් තැනට වෙනස් වෙනව කියල. 

මේකෙ කොටස් දෙකක් තියෙනව. Relative velocity time dilation එකයි gravitational time dilation එකයි. පලවෙනි එකෙන් කියන්නෙ වේගයත් එක්ක කොහොමද කාලය වෙනස් වෙන්නෙ කියල. අනිත් එකෙන් කියන්නෙ ගුරුත්වය එක්ක කාලය වෙනස් වෙන විදිහ. මං මෙතනදි කතා කරන්නෙ වේගය එක්ක කාලය වෙනස් වෙන විදිහ ගැන. ( ඉතුරු එක කතා කරමු සාමාන්‍ය සාපේක්ෂතාවාදය ගැන ලිපිවලින් ) 

ඔයා දන්නවද වේගය හා කාලය අතර සම්බන්ධයක් තියෙනව කියල. වේගය වැඩි වෙන්න වෙන්න, කාලය ගත වීම අඩු වෙනව. අනිත්‍ පැත්තට වේගය අඩු වෙනකොට, කාලය ගත වීම වැඩි වෙනව. ඒක වෙන්නෙ මෙහෙමයි. 

විශ්වයට තියෙනව මාන 4ක්. අපි සාමාන්‍යයෙන් දන්න දිග, පලල, උස කියන මාන තුනට අමතරව කාලය කියල මානයකුත් තියෙනව. මේක හැමෝටම පොදු දෙයක්. සාමාන්‍යයෙන් විශ්වය කියන දේ මාන 4කින් බලන එක ටිකක් අමාරු වැඩක්. මොකද ඉතිං අපි ඇවිල්ල ත්‍රිමාන ජීවීන්නෙ. ඒක හිංද කාලය කියන දේ අවකාශයත් එක්ක සම්බන්ධ කරල , 

කාල - අවකාශ ප්‍රස්තාරය කියල දෙයක් විද්‍යාඥයො හදාගත්ත... ඕකෙන් සරලවම කියනව අපි නිශ්චලව ඉන්න කොට, අපිට කාලය ගලා යෑම උපරිම වේගෙන් වෙනව කියල. ඒ වගේම අවකාශය තුල ඕනම දේකට යන්න පුළුවන් උපරිම වේගය තමයි ආලොකයේ වේගය. ඒක සාමාන්‍යයෙන් කරන්න බැරි වැඩක්. අපි නිකමට හිතමුකො කරන්න පුළුවන් කියල. එතකොට, කාලය ගලා යෑම නවතිනව! 

වේගය හා කාලය අතර සම්බන්ධය ගැන තේරුං ගන්න, මෙන්න මෙහෙම මනෝ පාරක් ගහගන්නකො. හිතන්න ඔයාට යාලුවෙක් ඉන්නව. දෙන්නම එකම වයසෙ. ඔයා, රොකට් එකක නැගල ආලෝකයේ වේගයට ඉතාම ආසන්න වේගයකින් පෘථිවියෙන් ඈතට ගිහිල්ල දවසක් විතර ඉඳල ආපහු පෘථිවියට එනව. ඔයාට ගත වෙලා තියෙන්නෙ එක දවසයි. ඔයා වයසට ගිහිල්ල තියෙන්නෙත් එක දවසකින් විතරයි. හැබැයි ඔයාගෙ යාලුවට දවසකට වඩා ගත වෙලා තියෙන්නෙ. විශ්වාස කරන්න පුළුවන්ද? 

ඔයා, පෘථිවියේ හිටපු යාලුවට වඩා ගොඩාක් වේගෙන් ගිය හිංද ඔයාගෙ කාලය ගත වීම අඩු වෙලා තියෙන්නෙ. ඔයාට ගත වෙච්ච කාලය දවසක් වගේ දැනුනට, යාලුවට සමහරවිට ඒක මාසයක් වෙන්නත් පුළුවන්.  හරියට නිකං අනාගතයට ගියා වගේ නේද? ඔතන වෙන දේ හරියටම තේරුං ගන්නනං අපිට තවත් මේකෙ ගැඹුරටම යන්න වෙනෝ. 

විශේෂ සාපේක්ෂතාවාදය අපිට පාවිච්චි කරන්න පුළුවන් වෙන්නෙ අවස්ථිතික සමුද්දේශ රාමුවලට විතරයි. ඒ මොකක්ද ඒ? . ඒ කියන්නෙ; සරල රේඛීය මාර්ගයක, ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරන වස්තුවක් හෝ නිශ්චලව ඉන්න වස්තුවක් ගැන. හිතන්නකො ඔයා කෝච්චියක නැගල උතුර පැත්තට යනව කියල 60kmh වේගෙන්. එතකොට ඒක අර කිව්ව වගේ අවස්ථිතික රාමුවක්. කෝච්චියට එලියෙන්, කව්රුහරි ඒක දිහා නිශ්චලව බලාගෙන ඉන්නවනං ඒක තවත් රාමුවක්.  


හිතන්න ඔයා ගාව බෝලයක් තියෙනව. ඔයා ඒක, කෝච්චිය ඇතුලෙ ඉඳන් 10kmh වේගෙන් කෝච්චිය යන පැත්තටම විසි කරනව. ඔයාට සාපේක්ෂව බැලුවොත් අර බෝලෙ වේගය කීයක් වෙයිද? 10ම තමයි නේහ්. හැබැයි කෝච්චියට එලියෙන් ඉන්න කෙනෙක්ට ඕක පේන්නෙ කෝච්චියේ වේගයයි, බෝලෙ වේගයයි එකතු වෙලා 70kmh විදියට. මොකද, කෝච්චිය ඇතුලෙ නිශ්චලව තියෙන ඕනම දේකට කෝච්චියේ වේගයම තියෙනව. ඉතිං ඔයා අර බෝලෙ විසි කරල ඒකට තව අමතර වේගයක් දුන්න. ඒක තමයි එලියෙ ඉන්න කෙනාට පෙනුනෙ. හැබැයි ඔයාට සාපේක්ෂව බැලුවොත් බෝලෙ වේගය 10යි. ඇයි? ඔයත් කෝච්චිය එක්කම යන හිංද. ඔයාට සාපේක්ෂව කෝච්චිය කොහෙවත් ගිහිල්ල නෑ. දැං හිතන්න ඔයා බෝලෙ, කෝච්චිය යන පැත්තට විරුද්ධ දිශාවට විසි කරනව කියල. ඒත් බෝලෙ වේගය ඔයාට සාපේක්ෂව 10යි. හැබැයි, පිටින් බලන කෙනාට පේන්නෙ බෝලෙ වේගය 60-10=50kmh කියල. බලන්න. එකම සිද්ධිය දෙන්නෙක්ට දෙවිදියකට පේන්නෙ. එකම සිද්ධිය, එක එක්කෙනාට සාපේක්ෂව වෙනස්! 

දැං මේකට අපි ආලෝකය කියන දේ සම්බන්ධ කරගෙන බලමු මොකද වෙන්නෙ කියල. හිතන්න ඔයා කෝච්චිය ඇතුලෙ ඉඳං ටෝච් එකක් on කරනව කියල. ඔයා එක එක දිශාවලට ඕක පත්තු කරනව. ඔයා ඔය වේගය මැන්නොත් ඔයාට ලැබෙන්නෙ එකම අගයක්. දැං අර කෝච්චියට එලියෙන් බලාගෙන ඉන්න කෙනාට ඕක කොහොමද පේන්නෙ? ආලෝකයේ වේගයට, කෝච්චියේ වේගය එකතු වෙලා පෙනෙයිද? එහෙම නැත්තං අඩු වෙලා පෙනෙයිද? පුදුම වැඩේ කියන්නෙ එයාටත් මැන්නට පස්සෙ ආලෝකයේ වේගය එකම අගයක් එන්නෙ. 

හිතන්න ඔයා, යාලුවෙක් එක්ක මේ පරීක්ෂණය කරනව කියල. ඔය දෙන්නටම එකසමාන වෙලාවල් තියෙන ඔරලෝසුත් තියෙනව. ඔයා දැං අර 60kmh වේගෙන් යන කෝච්චියට නැගල ඒකෙ යනව. යාලුව එලියෙ ඉඳං බලාගෙන ඉන්නව. කෝච්චිය බටහිර ඉඳල නැගෙනහිර පැත්තට යනව කියල හිතන්නකො. දැං ඔයා ටෝච් එක උඩ අතට අල්ලන් ඉන්නව කියල හිතන්න. ඔයාට පේනව සාමාන්‍ය විදිහට ආලෝකය කොච්චි පෙට්ටියෙ වහලට වදිනව. ඔයා, ටෝච් එකෙයි වහලෙයි අතර දුර මැනගත්ත කියල හිතන්න. ආලෝකයට එතනට යන්න ගතවෙච්ච කාලයත් ඔයා මැනගත්ත කියල හිතන්න. දැං අර එලියෙ ඉන්න යාලුවට මේ සිද්ධිය කොහොමද පේන්නෙ? එයාට ඇත්තටම පෙන්නෙ ආලෝකය වැඩි දුරක් ගියා වගේ. මොකද ආලෝකය උඩ අතට ගමන් කරත් කෝච්චිය තිරස් අතට ගමන් කරන හිංද ආලෝකයට වැඩි දුරක් යන්න වෙනව. ඔයාට සාපේක්ෂව කෝච්චිය කොහෙවත් ගිහිල්ල නැති හිංද ඔයාට ආලෝකය ගමන් කරපු දුර පේන්නෙ මෙන්න මෙහෙම. 👇🏻 


       ─────            ─┐

             │                    │

             │                    │⤖ටෝච් එක හා            

             │                    │    වහලය අතර දුර

       ─────            ─┘   (ආලොකය ගමන්

                                                       කල දුර) 


හැබැයි යාලුවට පේන්නෙ මෙන්න මෙහෙම. 👇🏻 


────    ────    ────   ────

                                         ⟋

                                    ⟋

                               ⟋ ⤑ ආලෝකය ගමන් කල   

                          ⟋           දුර. 

                     ⟋

────    ────     ────   ────


කෝච්චියට තිරස් අතට වේගෙකුත් තියෙන හිංද ආලෝකයට වැඩි දුරක් යන්න වෙනව. 


ඉතිං අපි සාමාන්‍යයෙන් දන්නව වේගය ගන්න හරිම සරල සමීකරණයක් තියෙනව, 

දුර = වේගය × කාලය. මේක වේගයට විසඳුවහම එනව, වේගය = දුර ÷ කාලය කියල. 


                                   V = D/t


මෙතනදි ආලෝකයේ වේගය නියතයක්. අපි මොන විදිහෙ රාමුවක හිටියත් ආලෝකයේ වේගය නියතයක්. ආලෝකය ගියපු දුරවල් වෙනස් කියල දැං දන්නව. විශ්වයේ හැම තැනටම කාලය ගලා යෑම එකවගේනං කාලයත් නියත වෙන්න ඕනනෙ නේහ්? හැබැයි එහෙම උනොත් අපිට ආලෝකයට වේග දෙකක් එනව! ඒක වෙන්න බැරි දෙයක්. ආලෝකයේ වේගය නියතයක් කියල පරීක්ෂණාත්මකව ඔප්පු කරලත් තියෙනව. ඉතිං ආලෝකයේ වේගය නියතයක් වෙන්නනං, දුරවල් වෙනස් උනා වගේම, ***කාලයත් වෙනස් වෙන්න ඕනෙ ***

ඉතිං විශ්වයේ හැම තැනම කාලය එක වගේ කියල හිතුවට ඇත්තටම බැලුවොත් ඒකත් සාපේක්ෂයි. 

කෝච්චිය ඇතුලෙ ඉන්න ඔයාගෙ කාලයයි, කෝච්චියට එලියෙන් ඉන්න ඔයාගෙ යාලුවගෙ කාලයයි වෙනස්! මේක තව තේරුං ගන්න අපි ගණිතය පාවිච්චි කරමු. 

අපි අර ආලෝකයයි කෝච්චියයි ගමන් කරපු දුරවල් ටික දිහා හොඳට බැලුවොත් එතන සෘජුකෝණී ත්‍රිකෝණයක් තියෙනව කියල පෙනෙයි. 


                      කෝච්චිය ගමන් කල දුර

                                         ↓

                               ────────

                              │               ⟋

                              │          ⟋

                              │     ⟋  ↖

                              │⟋     යාලුවට සාපේක්ෂව 

                          ↗         ආලෝකය ගමන් කරපු  

ඔයාට සාපේක්ෂව          දුර

ආලෝකය ගමන්

කරපු දුර 


හිතන්න ඔයා ගාව තියෙන ඔරලෝසුවේ වෙලාව 𝚫𝐭₀ කියල. යාලුවගෙ වෙලාව 𝚫𝐭`. ආලෝකයේ වේගයට අපි සාමාන්‍යයෙන් කියනව 𝑪 කියල. Englishවලින්නං Constant කියන එකේ මුල් අකුර. Constant කියන්නෙ නියතය කියන එක. ඉතිං දුර = වේගය × කාලයනං, ටෝච් එකෙයි වහලෙයි අතර දුර ( තව විදිහකට කියනවනං ඔයාට සාපේක්ෂව ආලෝකය ගමන් කරපු දුර ) ගන්න පුළුවන් 𝑪𝚫𝐭₀ කියල. නේහ්? එතකොට යාලුවට පෙනුන දුරත් එවගේම ගන්න පුළුවන්. 

𝑪𝚫𝐭` කියල. ඊළඟට අපිට හොයාගන්න ඕනෙ කෝච්චිය ගමන් කරපු දුර. මේක හොයාගන්නනං යාලුවට ගතවෙච්ච කාලය තමයි ගන්න වෙන්නෙ. මොකද ඔයාට සාපේක්ෂව කෝච්චිය කොහෙවත් ගිහිල්ල නෑනෙ. අපි කෝච්චියෙ වේගයට කියමු 𝛖 කියල. එහෙනං කෝච්චිය ගමන් කරපු දුර ගන්න පුළුවන් 𝛖𝚫𝐭` කියල.


                                       𝛖𝚫𝐭`

                               ────────

                              │               ⟋

              𝑪𝚫𝐭₀       │          ⟋

                              │     ⟋     𝑪𝚫𝐭`

                              │⟋


සෘජුකෝණී ත්‍රිකෝණයක් හිංද මේකට පයිතගරස් ප්‍රමේයය දාන්න පුළුවන්. 


                              𝐀² + 𝐁² = 𝐂²


මේකට ඔය දත්ත ටික ආදේශ කරොත්, 👇🏻 


                ( 𝑪𝚫𝐭` )² = ( 𝛖𝚫𝐭` )² + ( 𝑪𝚫𝐭₀ )²


දැං මේක ටිකක් expand කරමු. 


          𝑪² ∙ ( 𝚫𝐭` )² = 𝛖² ∙ ( 𝚫𝐭` )² + 𝑪² ∙ ( 𝚫𝐭₀ )²


දැං ඔක්කොම 𝑪²වලින් බෙදමු, 


        𝑪² ∙ ( 𝚫𝐭` )² =    𝛖² ∙ ( 𝚫𝐭` )²  +    𝑪² ∙ ( 𝚫𝐭₀ )² 

    ────────    ────────     ────────

             𝑪²                        𝑪²                         𝑪²


එතකොට 𝑪² කැපිල ගිහිල්ල මෙහෙම එනව. 


  ( 𝚫𝐭` )² =   𝛖² ( 𝚫𝐭` )²  +  ( 𝚫𝐭₀ )²

                   ───

                     𝑪²


දැං 𝚫𝐭` තියෙන ඒව ඔක්කොම සමීකරණෙ එක පැත්තකට ගමු. 


( 𝚫𝐭` )² - 𝛖² ( 𝚫𝐭` )²    =   ( 𝚫𝐭₀ )² 

               ────── 

                      𝑪²


දැං (𝚫𝐭`)² එක වම් පැත්තෙ පොදු දෙයක් හිංද ඒක එලියට ගමු. 


( 𝚫𝐭` )² ∙ (  𝟏   -    𝛖²    )  =  ( 𝚫𝐭₀ )²

                          ───

                            𝑪²


දැං ඔක්කොගෙම වර්ගමූල ගමු. 👇🏻 


𝚫𝐭` √ 𝟏  -   𝛖²      = 𝚫𝐭₀

                ───

                   𝑪²


දැං 𝚫𝐭` උක්ත කරගමු එතකොට අර වර්ගමූල කොටස එහෙම්ම සමීකරණෙ අනිත් පැත්තට යනව . 𝚫 කෑලිත් අයිං කරලම දාන්න. 👇🏻 


      ┌─────────────────────┐

                                       𝐭₀ 

                     𝐭` = ─────────

                                         𝝊²

                            √  𝟏 - ───

                                        𝑪² 

      └─────────────────────┘


ඔන්න ආව Time dilation සමීකරණෙ......


මෙතන තියෙන ඔය හරය කොටසට කියනව ගැමා කියල, එහෙම නැත්තං Lorentz factor කියල. 


            𝟏

─────────    කියන එකම අපිට 𝜰 කියලත් 

               𝛖²            ලියන්න පුළුවන්. 

√  𝟏  - ───

              𝑪²


එතකොට අර උඩ සමීකරණෙම සරල කරල මෙහෙම ලියන්න පුළුවන්. 


                                𝐭` = 𝜰 𝐭₀


ඉතිං මේ ගැමා ( 𝛶 ) කියන එක, සාපේක්ෂතාවාදය ඉගෙනගන්න කෙනෙක් විදිහට අනිව ඩෙෆා මතක තියාගන්නම වෙනව. මොකද මේ lorentz සාධකය කියන එක සාපේක්ෂතාවාදයේ ගොඩක් තැන්වල එන දෙයක්. මේකෙන් සරලවම කියන්නෙ චලනය වෙන වස්තුවක වේගයට සාපේක්ෂව එම වස්තුවේම හෝ වෙනත් වස්තුවක ස්කන්ධය, දිග වගේම කාලය වගේ දේවල් වෙනස් වෙන හැටි මනින ගණිත ක්‍රමයක්. 𝛶වල අගය වෙනස් වෙන්න පුළුවන්. ඒක රඳා පවතින්නෙ 𝛖වල අගය අනුව. 𝛖 කියන්නෙ චලනය වෙන වස්තුවේ වේගය. ගණං ටිකක් හදමුද මචංලා 

හිතන්නකො ඔන්න ඔයා අභ්‍යවකාශ යානයක නැගල ආලෝකයේ වේගය වගේ 99.5%ක වේගෙන් යනව කියල. ඔන්න පෘථිවියේ ඉන්නව ඔයාගෙ යාලුව. හිතන්නකො එයා නිශ්චලව ඉන්නව කියල. ඔයා අර වේගෙන් යන ගමං ඔරලෝසුවෙන් තත්පරයක් මනිනව. ඔයාගෙ ඔය තත්පරය, පෘථිවියේ ඉන්න යාලුවට කොච්චර වෙලාවක්ද කියල බලමු. 

චලනය වෙන ඔයාගෙ වෙලාව 𝐭₀. යාලුවගෙ වෙලාව 𝐭`. දැං අර සමීකරණෙට ඕනකරන දේවල්  දාල හදල බලමු මොකද වෙන්නෙ කියල..... 


                   1

𝐭` = ─────────

                 (0.995C)² 

       √ 1 - ──────

                     C²


C² කැපිල යනව. ඊට පස්සෙ තියෙන්නෙ 

1 - ( 0.995 )² එක සුලු කරල ඒකෙත් වර්ගමූලය අරගන්න එක. ඊට පස්සෙ ඒ ගානෙන් 1 බෙදුවම එනව තත්පර 10ක්! ඔයා ආලෝකයේ වේගය වගේ 99.5%ක වේගෙන් ගියොත්, ඔයාට ගතවෙන හැම තත්පරයක්ම යාලුවට තත්පර 10ක් වෙනව. ඔයා අවුරුද්දක් හිටියොත් යාලුවට අවුරුදු 10ක් ගතවෙලා. පිස්සු හැදෙනව නේහ්? 

තව ගණං දෙකක් දෙන්නං.

1- හිතන්න අභ්‍යවකාශ යානෙක නැගල එකෙක් ආලෝකයේ වේගය වගේ 75%ක වේගෙන් යනව කියල. එයා මනිනව තත්පර 3ක්. එයාගෙ තත්පර තුන, පෘථිවියේ ඉන්න ඔයාගෙ වෙලාවෙන් කොච්චර වෙයිද?  𝐭` කියන්නෙ හැමවෙලාවෙම නිශ්චලව ඉන්න කෙනාට ගතවෙන කාලය හෝ විස්තාරණය වෙන කාලය. 

𝐭₀ කියන්නෙ චලනය වෙන කෙනාගෙ කාලය.  

2 - රොකට් එකක නැගල එකෙක් අභ්‍යවකාශෙට යනව ආලෝකයේ වේගය වගේ 99%ක වේගෙන්. ඔයා පෘථිවියේ ඉඳල තත්පර 100ක් මනිනව. රොකට් එකේ එකාට ගතවෙලා තියෙන කාලය කොච්චරද?  

( මෙතන අහන්නෙ 𝐭₀ හොඳේ. එතකොට සමීකරණය වෙනස් කරල 𝐭₀ උක්ත කරගෙන හදන්න. ) 

ගණං හදල ඉවරනං තව වැඩක් කරමු. හිතන්නකො චලනය වෙන කෙනා ආලෝකයේ වේගයෙන් යනව කියල. එතකොට මොකද වෙන්නෙ. ඔයාට සාපේක්ෂව එයාගේ කාලය ගලා යෑම නවතින්න ඕනෙ සමීකරණය කියන විදිහටනං. ආලෝකයට වඩා වැඩි වේගෙන් ගියොත්? එතකොට කාලය රින වෙනව. මෙතනදි රින කියනවට වඩා හොඳයි Imaginary කියල කිව්වනං. ඒ කියන්නෙ එතන වෙන්නෙ මොකක්ද කියල හිතාගන්න අමාරුයි. සමහරු කියනව කාලය හරහා අතීතයට යනව කියල. හැබැයි තාම මෙතන වෙන්නෙ මොකක්ද කියල තහවුරු කරගෙනනං නෑ. 

තව දෙයක්. මෙතනදි ආලෝකයේ වේගයට ආසන්නව ගමන් කරන කෙනාගෙ කාලය වෙනස් වෙන්නෙ අපිට සාපේක්‍ෂව විතරයි හොඳේ. අපි එයා දිහා බැලුවොත්, එයා කන්නෙ, බොන්නෙ, හුස්ම ගන්නෙ හරිම හෙමිං. හැබැයි එයා, එයාටම සාපේක්ෂව බැලුවොත් එයාට සාමාන්‍ය විදිහට කාලය ගතවෙලා. ආලෝකයේ වේගයට ආසන්නව යන කෙනෙක් අවුරුද්දක් අභ්‍යවකාශෙ හිටියොත් එයාට සාමාන්‍ය විදිහට අවුරුද්දක් ගතවෙලා. හැබැයි එයාගෙ අවුරුද්ද, පෘථිවියේ ඉන්න කෙනෙක්ට සාපේක්ෂව බැලුවොත්, පෘථිවියේ ලොකූ කාලයක් ගිහිල්ල. එයා ආපහු ආවොත්, එයත් එක්ක හිටපු සමවයසෙ අයට වඩා එයා තරුණ වෙන්න පුළුවන්. 

තව මොලේ නට් පනින කතාවක් කියන්නද? 

අහල තියෙනවද twin paradox කියල දෙයක්. අර නිවුන්නු දෙන්නගෙ time dilation ප්‍රශ්නෙ.

හිතන්න නිවුන්නු දෙන්නක් ඉන්නව. එක්කෙනෙක් අභ්‍යවකාශ යානාවක නැගල ආලෝකයට ඉතාම ආසන්න වේගෙන් අවුරුද්දක් විතර ගමන් කරල ආපහු පෘථිවියට එනව කියල. මේ දෙන්නගෙන් කව්ද වැඩිපුර වයසට ගිහිල්ල තියෙන්නෙ? දැං ඔයාල දන්නව ඇති අනිව අර පෘථිවියෙ ඉන්න එකාගෙ වයස වැඩි ඇති කියල. හැබැයි මං මෙහෙම කිව්වොත්. පෘථිවියේ ඉන්න සහෝදරයට සාපේක්ෂව අනිත් කෙනා ආලෝකයේ වේගයෙන් ගියා. නේහ්? එයාගෙ රාමුව ඇතුලෙ ඉඳං බැලුවොත් එහෙම තමයි පේන්නෙ. හැබැයි යානාව ඇතුලෙ ඉන්න එකාගෙ රාමුව ඇතුලටත් අපි රිංගගත්තොත් එතකොට පේන්නෙ මොකක්ද? එයාට පේන්නෙ එයා ඈත් වෙනව වගේද? නෑ නේද? එයාට පේන්නෙ එයා නිශ්චලව ඉන්නව. ඒත් පෘථිවිය තමයි එයාගෙන් ආලෝකයේ වේගයට ඉතාම ආසන්න වේගයෙන් ඇත් වෙන්නෙ කියල. ඉතිං පෘථිවියේ ඉන්න කෙනා කියනව අරූ ආලෝකයට ආසන්න වේගෙන් ගියපු හිංද එයා තරුණයි කියල. අභ්‍යවකාශෙ ඉන්න එකා කියනව, මටනං පෙනුනෙ පෘථිවියේ ඉන්න කෙනා ආලෝකෙට ආසන්න වේගෙන් මගෙන් ඈත් උනා වගේ. ඒක හිංද එයා තරුණ ඇති කියල. මල කෙලියයි. දැං කව්ද හරි ? කව්ද වැරදි ?.. 

මෙහෙමයි. මතකද මං පෝස්ට් එකේ මුල් හරියෙම කිව්ව, විශේෂ සාපේක්ෂතාවාදය දාන්න පුළුවන් අවස්ථිතික සමුද්දේශ රාමුවලට විතරයි කියල. ඉතිං පෘථිවියේ ඉන්න කෙනා නිශ්චල හිංද අවස්ථිතික රාමුවක් උනත් අර අභ්‍යවකාශෙට ගියපු කෙනා අවස්ථිතිකද?

නෑ නේද? මොකද එයා ආපහු හරවගෙන එනකොට වේගය අඩු කරගෙන ඊට පස්සෙ වැඩි කරගන්නව. එතකොට මන්දනයකුයි, ත්වරණයකුයි ඇතිවෙනව. ඉතිං අවස්ථිතික නෑනේද. ඔය ගැටලුව විසඳන්න පුළුවන් වෙන්නෙ විශේෂ සාපේක්ෂතාවාදයට වඩා සාමාන්‍ය සාපේක්ෂතාවාදයෙන් තමයි. මොකද ඒකට ඔය අවස්ථිතික නැති රාමුත් දාන්න පුළුවන්. හැබැයි ටිකක් කල්පනා කරොත් විශේෂ සාපේක්ෂතාවාදයෙන්ම උත්තරයක් ගන්න පුළුවන්. වරෙල්ලකො යන්න මාත් එක්ක වෙනමම රාමුවකට. ඔන්න අපිට පේනව අරූ පෘථිවියෙන් ඇත්වෙනව. ඒකා ආලෝකෙට ඉතාම ආසන්න වේගෙන් යන්නෙ. අපි දැනටම දන්නවනෙ එක එකාට පේන විදිහ අනුව උං confuse වෙලා ඉන්නෙ කියල. හැබැයි අපි confuse වෙන්න ඕන්නෑ.  අපි දැං ඉන්න රාමුව ඇතුලෙ ඉඳං බැලුවොත් ඇත්තටම ආලෝකයේ වේගෙන් ගියේ පෘථිවියද? නැත්තං අභ්‍යවකාශ යානෙද? අභ්‍යවකාශ යානෙ නේහ්? එහෙනං අපිට කියන්න පුළුවන් අනිව ඩෙෆා, පෘථිවියේ ඉන්න එකා ගොඩක් වයසට ගිහිල්ල කියල. 

ඔහොම තමයි ඉතිං කාලය හරහා අනාගතයට යන්න පුළුවන් වෙන්නෙ. නැතුව වෙන අමුතු මැජික් ක්‍රමනං දැනට නෑ.  අනිත් දේ තමයි මෙතන අනාගතයට යනව කියන්නෙ 2023 ඉඳං එකපාරට 3000ගනංවලට යනව වගෙ නෙවෙයි හොඳේ. ඔය filmවල පෙන්නන්නෙ. මැෂින් එක තියෙනව. ඕන කරන අවුරුද්ද එබුව ගමං ඒ අවුරුද්දට යනව. එහෙම යන්න බෑ හොඳේ. 

මොකද අතීතය හෝ අනාගතය කියන දේ කොහෙවත් ගබඩා වෙලා නෑ. වෙන එකම දේ, අපි වර්තමානය තුල අත්විඳින කාලය ගලා යෑමේ වේගයේ වෙනස් වීම විතරයි. 2023 දි ඔයා රොකට් එකක නැගල ආලෝකයට ආසන්න වේගෙන් යන ගමං පෘථිවිය දිහා බැලුවොත් ඔයාට සාපේක්ෂව පෘථිවියේ අය හෙමින් වැඩ කරන්නෙ. පෘථිවියේ අයට සාපේක්ෂව ඔයා හෙමින් වැඩ කරන්නෙ. හැබැයි ඔයා ටික කාලයක් ඉඳල ආපහු හරවගෙන ආවොත්, පෘථිවියේ ලොකූ කාලයක් ගිහිල්ල. එක විදිහකට අනාගතයට යන එකක් තමයි. ඒත් filmවල පෙන්නන තරං fantacy ගතියක් නෑ.  ඔයා අර ගත කරන කාලය ඇතුලත, පෘථිවියේ දෙවල් ගොඩාක් වේගෙන් සිද්ධවෙලා. එච්චරයි වෙලා තියෙන්නෙ. ඕක තමයි කාලය කියන මේ අමුතුම මානයෙහි ස්වභාවය. කාලය කියල දෙයක් ඇත්තටම තියෙනවද? ඒක මිනිස්සු හදාගත්ත දෙයක්ද? විශ්වයේ තැනින් තැනට අමුතු විදිහට කාලය වෙනස් වෙනව. ඒක භෞතික දෙයක් නොවුනත් ඒකෙ වෙනස්වීම් අපිට නිතරම දැනෙනව. උදාහරණ ටිකක් කියන්නද?

ආලෝකයේ වේගය 299,792,458 m/s. සූර්යයා හා  පෘථිවිය අතර දුර කිලෝමීටර මිලියන 151.51 ඔය දුර ගෙවාගෙන එන්න ආලෝකයට විනාඩි 8.4ක් විතර යනව. ඉර දිහා බලන හැම වෙලාවෙම අපි දකින්නෙ ඒක විනාඩි 8.4කට කලින් තිබ්බ විදිහ. අපි හඳ දිහා බැලුවොත් ඒත් එහෙමයි. පෘථිවියයි හඳයි අතර දුර 384,400km. ඒ දුර ගෙවාගෙන එන්න ආලෝකයට තත්පර 1.28ක් යනව. අපි හැමවෙලාවෙම දකින්නෙ තත්පර 1.28ක් පරණ හඳක්. 

ආලෝක වර්ෂයක් කියන්නෙ මොකක්ද? ඒ කියන්නෙ ආලෝකය අවුරුද්දක් තුල ගමන් කරන දුර. ආලෝකය සාමාන්‍යයෙන් තත්පරයකට 299,792.458 km විතර යනව. ඉතිං අවුරුද්දකට කිලෝමීටර ට්‍රිලියන 9.4ක් විතර දුරක්. ඕක තමයි ආලෝක වර්ෂයක් කියන්නෙ. ඉතිං අපිට ආලෝක වර්ෂ මිලියන ගනං බිලියන ගනං ඈතින් තියෙන තරු දිහා බලනකොට අපිට පේන්නෙ ඒව අවුරුදු මිලියන හෝ බිලියන ගානකට කලින් තිබ්බ විදිහ. මොකද ඒවගෙ වර්තමාන ස්වභාවය බලන්න ඕනකරන ආලෝකය එන්න අවුරුදු මිලියන, බිලියන ගනං යන හිංද. ඔයා astronomyවලට ආස කෙනෙක්නං, රෑ අහස දිහා බලනවනං මතක තියාගන්න, අහස දිහා බැලුවම අපි දකින්නෙ අතීතයක්! වර්තමානය තුල ජීවත් වෙන අපි, උඩ බැලුවොත් පේන්නෙ ලොකූ අතීතයක්! 

ඕක තමයි ඉතිං විශ්වයේ ස්වභාවය. විශේෂ සාපේක්ෂතාවාදය ගැන තව කියන්න දේවල් ගොඩයි. තාම time dilation එක විතරයි කිව්වෙ. තව තියෙනව. Length contraction එකයි relativistic mass එකයි relative velocity එකයි කරන්නත් ඕනෙ. ඊට පස්සෙ විශේෂ සාපේක්ෂතාවාදය ඉවරයි. ඊළඟට සාමාන්‍ය සාපේක්ෂතාවාදය. ඒකෙත් Theory ටික කරල ජ්‍යාමිතික පැත්තත් කියල දෙන්න ඕන කියල හිතුන. නැත්තං වැඩක් නෑනෙ 



from Science FinderX https://ift.tt/40r7IRo
via IFTTT
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!