“අපි අභ්‍යවකාශයට දෙදෙනෙක් යැව්වා. තිදෙනෙක් ආපසු පැමිණියා.” මේ 2020 වසරේ තිරයට නැඟුණු Sputnik චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් යොදාගන්නා ලද වැකියකි. විද්‍යා ප්‍රබන්ධ සංත්‍රාස චිත්‍රපටයක් වන මෙය හොලිවුඩ් නිෂ්පාදනයක් නො වන බව මුලින් ම කිව යුතු ය. එය රුසියානු චිත්‍රපටයකි. අධ්‍යක්ෂණය කළේ ඊගෝර් ඇබ්‍රමෙන්කෝ (Egor Abramenko) ය.
Sputnik පසුබිම් කරගන්නේ සීතල යුද්ධයේ අවසන් යුගය දිගහැරෙමින් පැවති 80 දශකයයි. පෘථිවිය වටා කක්ෂගත ව සිටින සෝවියට් විශ්වගාමීහු දෙදෙනෙක් ආපසු පොළොව බලා පැමිණෙන ගමනේ දී අසාමාන්‍ය අත්දැකීමකට මුහුණදෙති. වායුගෝලයට ඇතුළු වීමේ දී ඔවුන්ගේ කැප්සියුලය අකර්මන්‍යතාවකට ලක් වන අතර දිවි බේරාගන්නට සමත් වන්නේ විශ්වගාමී කොන්ස්තන්තීන් (පීතර් ෆියෝද්‍රොෆ්) පමණකි. පීතර් වෛද්‍ය නිරීක්ෂණයන්ට ලක් වන කාල පරාසය තුළ අසාමාන්‍ය ලෙස හැසිරීමට පටන්ගනී. එහෙත් චිත්‍රපටයේ ඇති කතා විලාසය ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය කෙබඳු දැ යි පවසා අපේ කුතුහළය සංසිඳුවීමට ඉක්මන් වන්නේ නැත.
ක්‍රමික ව අපට පෙනී යන්නේ කොන්ස්තන්තීන් සහ නැසී ගිය සිය රාජකාරි සගයා යළි පොළොවට පැමිණ ඇත්තේ තවත් අමුත්තෙකු සමඟ බව ය. කෙසේ නමුත් මෙය අප කම්පනය කරන තරමේ සොයාගැනීමක් නො වන බව ද අමුතුවෙන් කිව යුතු නැත. චිත්‍රපටයේ ට්‍රේලරයෙන් ම ඒ ගැන යම් ඉඟියක් අප ලබා ඇති බැවිනි.
කොන්ස්තන්තීන් මිලිටරිමය පර්යේෂණ සංකීර්ණයක රඳවා තබාගන්නා අතර ඔහු ගැනත්, ඔහු අභ්‍යන්තරයේ සැඟවී සිට රාත්‍රියේ දී පමණක් සක්‍රීය වී සිරුරෙන් බැහැරට පැමිණෙන ආගන්තුක ජීවියා ගැනත් ගැඹුරින් සොයාබැලීමට හමුදාව සහාය පතන්නේ වෛද්‍යවරියක වන තතියානා ක්ලිමෝවාගෙනි (ඔක්සානා අකින්සිනා).
මූලික අධ්‍යයනයේ එක්තරා අවස්ථාවක දී තතියානා සිය සටහන් පොතක ඇය ඉදිරියේ ඇති අභියෝගය මෙලෙස සටහන් කරයි. “Parasite or symbiote?” එනම් කොන්ස්තන්තීන් තුළ ලැග සිටින පාරභෞමික සම්භවයක් සහිත යැ යි සිතිය හැකි ප්‍රාණියා පරපෝෂිතයෙකු ද නැතහොත් සහජීවියෙකු ද යන ප්‍රශ්නයයි. එයට පිළිතුරු සොයාගැනීම වැදගත් වන්නේ මෙකී ‘මෙහෙයුම’ භාර ව සිටින කර්නල්වරයා අගෙන් ඉල්ලා සිටි පරිදි කොන්ස්තන්තීන්ගේ ජීවිතයට හානියක් නො වන පරිදි ආගන්තුකයා සහතික වශයෙන් ම විශ්වගාමියාගේ සිරුරෙන් වෙන් කරගත හැකි ද යන්න තහවුරු කරගැනීමට ය.
චිත්‍රපටයේ එක් තැනක දී අපට හෙළි වන්නේ කොන්ස්තන්තින්ට දාව උපන් දරුවෙක් අනාථ නිවාසයක හැදී වැඩෙන බව ය. එය චිත්‍රපටය අවසානය වන විට මුළු චිත්‍රපටයේ ම හැඩය නිර්වචනය කළ හැකි අන්දමේ විචාරක වරමක් ලබා දෙන ප්‍රස්තුතයක් ඉතිරි කරයි. එනම් සිය සිරුර තුළ දරාගෙන කොන්ස්තන්තීන් පොළොවට පැමිණියේ පාරභෞමික භීමරූපියෙකු ද, නැතහොත් සිය චිත්ත ගැඹරේ අඳුරු කෙළවරක පැලපදියම් වෙමින් සාරය උරා බොන, නිරතුරු ව හද පාරන පසුතැවීමකට වස්තු භීජය වන ස්වකීය ජනිතයා පිළිබඳ උපන් පීතෘ ස්නේහයේ අඳුරු පැතිකඩ ද යන්න ය. මේ දෙආකාරයට ම චිත්‍රපටය කියවාගැනීමේ වරදක් නැත. පළමු වැන්න චිත්‍රපටයේ මතුපිට ස්තරය පෙන්නුම් කරන අතර අනෙක තවදුරටත් විද්‍යා ප්‍රබන්ධයකට ම ලඝු කළ නො හැකි සංකේතාත්මක දෙවැනි අභ්‍යන්තරික ස්තරයක් නිරූපණය කරයි.
‘ස්පුට්නික්’ යන වචනය රුසියාවට වැදගත් වන්නේ අභ්‍යවකාශ සටනේ පළමු වෙඩිමුරය තබමින් සෝවියට දේශය විසින් උඩුගුවන්ගත කරන ලද ලොව පළමු කෘත්‍රිම චන්ද්‍රිකාව එනමින් යුතු වූ බැවිනි.
කෙසේ නමුත් චිත්‍රපටයට මේ නම යොදා ඇත්තේ අභ්‍යවකාශ තරණය හා සබැඳි එහි ඇති සංකේතාත්මක වටිනාකම නිසා ම නොවන බව අපට කිව හැකි ය.
‘ස්පුට්නික්’ යනු රුසියන් බසින් ‘ගමන් සගයා’ යන්න ය. අභ්‍යවකාශයේ සිට පොළොව දක්වාත් එතැන් සිට ජීවන ගමන ගොස් අවසන් වන තුරු ම තමා සමඟ වෙසෙන්නට එන මෙකී මළානික සුදු පැහැයෙන් යුතු ආන්තුක ප්‍රාණියා හැඳින්වීමට සුදුසු ම යෙදුම වන්නේත් එයයි.
Sputnik චිත්‍රපටය හොලිවුඩයේ Alien සිනමා විශ්වයට අයත් චිත්‍රපටවලින් අභාෂය ලබා ඇති බවක් ද නිරීක්ෂණය කළ හැකි නමුත්, ඕනෑ ම රුසියානු චරිත නිරූපණයක දැකිය හැකි බලවත් ආත්මීය හැඟීම් උත්පාදක ගුණය නිසා එය අද්විතීය තලයක් වෙත ඔසවා තැබෙයි. කතාව ගලා යන්නේ යථාලෝකය මත, ගෙවුණු අතීත කාල පරිසරයක් පසුබිම් කරගනිමින් වීම ද එහි ඇති බරපතළකම වැඩියෙන් දැනවීමට අත්වැල් සපයා ඇත.
චිත්‍රපටය අවසන් වන්නේ අතිශය හෘදයාංගම වූ දසුනකිනි. එම අවසන් තත්පර කිහිපය මා යළි යළිත් කිහිප වරක් ම නරඹා ඇත්තෙමි. මිනිසත් බව පිරී ඉතිරෙන වැළඳගැනීමක් අතරතුර තිරය අඳුරු වී спутник යන්න දිස්වන්නේ දෙසවන් ස්පන්දනය වන තරමේ ගාම්භීර වූ තේමා වාදනය සිය රාජකාරිය අකුරට ම ඉටු කරද්දී ය. ඒ අවසානය අත්විඳින විට දී රුසියාව කෙතරම් දැවැන්ත රටක් දැ යි සිතෙයි.
සත්‍ය හෙට්ටිආරච්චි
from Vidusara Science Magazine https://ift.tt/ZTYxshj
via Magazine
Post a Comment