zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

කේරලය බිය වැද්දූ නිපා වයිරසය

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.





මාරාන්තික නිපා (Nipha – NiV) වයිරසය පැතිරී යාම හේතුවෙන් දකුණු ඉන්දීය කෙරල ප්‍රාන්තය තුළ පාසල් සහ ගමනාගමන පද්ධති තාවකාලික ව වසා තැබීමට කටයුතු කර තිබෙනවා. පසුගිය සතිය පුරා පුද්ගලයන් 700 කට අධික පිරිසකට නිපා වැළඳී තිබේ දැ යි පරික්ෂා කර බලා තිබෙන බව සඳහන් වනවා. වයිරසය වැළඳුණු පුද්ගලයන් හය දෙනෙකු අතුරින් දෙදෙනෙකු මරණයට පත් ව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ. 

වසර පහක කාලය ඇතුළත කේරලය මුහුණ දෙන සිව් වැනි නිපා වසංගත තත්ත්වය මෙය බවයි Nature ජර්නලය සඳහන් කරන්නේ. ඒ අතරින් දරුණුතම තත්ත්වය 2018 දී වාර්තා වී ඇති අතර විද්‍යාගාර මඟින් සහතික කරන ලද ආසාදනය වූවන් සංඛ්‍යාව 18ක් ලෙසත් මරණ සංඛ්‍යාව 17ක් ලෙසත් සඳහන් වුණා. 

වවුලන් සහ වෙනත් ක්ෂීරපායන් අතර පවතින නිපා වයිරසය මිනිසුන්ට වැළඳෙන බව මුලින් ම සොයා ගැනු‍ණේ 1998 දී මලයාසියාවේ ඌරු ගොවිපලවල් ආශ්‍රිත ගොවියන් අතරේ පැතිරෙන්නට පටන් ගැනීමත් සමගයි. ආසාදිත ඌරන් මඟින් එය සිංගප්පූරුවට ද පැතිරුණු එය ආසාදන 300ක් අතරින් මරණ 100කට වග කිව යුතු වනවා. නිපා වයිරසය අධික මරණ අනුපාතයකට හිමිකම් කියන අතර එය 40% – 75% ත් අතර විචල්‍ය අගයක් ගත හැකියි. 

උණ, වමනය පිටවීම සහ ස්වසනයේ දී ඇති වන අපහසුතා මෙම වයිරසයේ රෝග ලක්ෂණ ලෙස හඳුනාගෙන තිබෙනවා. මොළයට බලපෑම් ඇති කරමින් රෝගියා පැය 24ත් 48ත් ඇතුළත කෝමා තත්ත්වයකට පත් කිරීමට එය සමත්. ඉහළ මරණ අනුපාතයකට හිමිකම් කීවත්, එමෙන් ම නිශ්චිත ප්‍රතිකර්මයක් සොයාගෙන නැතත් ඉන්දියාවෙන් ඇරඹි මෙම වසංගත තත්ත්වය ගෝලීය වසංගත තත්ත්වයක් දක්වා පැතිර යාමට ඇති ඉඩකඩ ඉතා ම මඳ බවයි. ඉන්දියාවෙන් වාර්තා වූ ආසාදනය වීම් අතරින් ද මිනිසෙකුගෙන් මිනිසෙකුට සම්ප්‍රේෂණය වූ අවස්ථා සීමිත බවයි විශේෂඥයන් පෙන්වා දෙන්නේ. කෙසේ නමුත් එය ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් ගෝලීය වසංගතයක් දක්වා පැතිරී යා හැකි විභවය සහිත බැවින් වහා පර්යේෂණ සිදු කළ යුතු යැ යි නම් කර තිබූ ඉබෝලා, සිකා සහ කොවිඩ් – 19 වැනි වයිරස අතර ප්‍රමුඛ පෙළේ පසු වනවා. 

ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කළේ ලංකාව තුළ දක්නට නො ලැබුණත්, ලෝකයට එය අලුත් දෙයක් නො වන බවයි. එසේ ම කොවිඩ් වසංගත තත්ත්වයේ දී මෙන් අනියත බියක් ඇති කර ගැනීම අනවශ්‍ය බවත් ඔහු ප්‍රකාශ කළා.

සෞන්දර්ය සෙනරත්




Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!