Loading..

අත්ලාන්තික් සයුරේ යක්ෂයාගේ ත්‍රිකෝණය හෙවත් බර්මියුඩා ත්‍රිකෝණය



 උතුරු අත්ලාන්තික් සාගරයේ බටහිර කොටස අතීතයේ සිටම ප්‍රකටව ඇත්තේ ගුවන් යානා සහ නෞකා ගිලගන්නා අබ්රහස් සාගර කලාපයක් ලෙසය. අමෙරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩාවත්, පුවටෝර්කෝ සහ බර්මියුඩා දූපත් යා කෙරෙන ත්‍රිකෝණයට අයත් සාගර කලාපය තුළ මේ අබ්රහස සැගව පවතී. එබැවින් මේ ත්‍රිකෝණාකාර සාගර කලාපය අතීතයේ සිටම බර්මියුඩා ත්‍රිකෝණය හෙවත් යක්ෂයාගේ ත්‍රිකෝණය ලෙසින් ප්‍රකටව ඇත.

     

බර්මියුඩා ත්‍රිකෝණයේ අබිරහස පිළිබඳ මුල්ම වාර්තා හමුවන්නේ 19 වැනි සියවසේ මැද භාගයේදීය. තවමත් හරිහැටි විසඳාගත නොහැකිව ඇතිබැවින් බර්මියුඩා ත්‍රිකෝණය අදටත් සැලකෙන්නේ විසඳීමට නොහැකි වු අභිරහසක් ලෙසය. මේ වන විට බර්මියුඩා ත්‍රිකෝණය හරහා ගමන් ගත් නෞකා 50කට වැඩි ප්‍රමාණයක් සහ එම සාගර කලාපයට ඉහළින් ගමන් කළ ගුවන්යානා 20ක් පමණ අභිරහස් අනතුරුවලට මුහුණ දී තිබේ.
     මේ නෞකා සහ ගුවන්යානා සමහරක් කිසිදු සාධකයක් ඉතිරි නොකරම අතුරුදන් වීම ද විශේෂත්වයකි. ඒ අතර අනතුරට පත් සමහර නෞකා අතහැර දමා තිබියදී හමු විය. එහෙත් එසේ වීමට කිසිදු පැහැදිළි හේතුවක් ද ඉදිරිපත් කිරීමට නොහැකි වී තිබේ. මේ අතර තවත් සමහර නෞකාවලින් ලැබුණු සංඥා එක් විටම නැවතී ගොස් තිබුණු අතර, ඒ නෞකා පිළිබඳ කිසිදු තොරතුරක් ඉන්පසුව සොයාගත නොහැකි විය.


     මේ සාගර කලාපයට ඉහළින් ගමන් ගත් ගුවන්යානා වලට ද අත්ව තිබුණේ එයට සමාන ඉරණමකි. සමහර යානාවල නියමුවන්ගෙන් අද්භූත ආලෝකයන් පිළිබඳ පණිවුඩ පාලන මැදිරි වෙත ලැබී තිබුණත් ඉන්පසු එම යානාවල අවශේෂයක් හෝ නොමැතිව සම්පූර්ණයෙන්ම අතුරුදන් වී ගොස් තිබේ. එම අතුරුදන් යානා පිළිබඳ සොයා බැලීමට යොදාගත් ගලවා ගැනීමේ යානා පවා හිටි අඩියේ අතුරුදන්ව ඇති බව වාර්තා වේ.


     කෙසේ වෙතත් මෙසේ අතුරුදන් වූ ගුවන්යානා හෝ නෞකා මුහුදේ ගිලී ගිය බවට සාධක හමු නොවීම බර්මියුඩාවේ අබිරහස තවදුරටත් වර්ධනය කරවන්නක් බවට පත් වී තිබේ. එහෙත් බර්මියුඩාවේ අබිරහස සම්බන්ධයෙන් මත ඉදිර්පත් කරන සමහර පිරිස් පවසන්නේ මෙය මුළුමනින්ම මනඃකල්පිතයක් බවයි. මේ අතුරුදන්වීම් අද්භූත බලයක් නිසා සිදුවන්නක් බවට මත ඉදිර්පත් වී ඇති අතරම, භූ විදහත්මක සහ පාරිසරික සාධක ද එයට හේතු වී ඇති බවට අදහස් ප්‍රකාශ කර ඇත. 
     එක් කල්පිතයකින් කියැවෙන්නේ බර්මියුඩා කලාපයට ඇතුළු වූ භූවත් නියමුවන් නිවැරදිව දිශාව ගණනය කර ගැනීමට අසමත් වී ඇති බවයි. එහි ප්‍රතිඵලය වූයේ සැලකිය යුතු ප්‍රමාණයකින් ගුවන් ධාවන දෝෂ ඇතිවී දැවැන්ත විනාශයක් සිදු වීමයි.


     තවත් ප්‍රකට කල්පිතයකින් කියැවෙන්නේ මෙම සාගර කලාපයේ නෞකා අතුරුදන් වීමට හේතුව "තක්කඩි රළ" ලෙසින් ප්‍රකට දැවැන්ත උදම් රළ විශේෂය බවයි. මේ රළ අඩි 100කට වඩා උස්ව නැගෙන අතර සාමාන්‍යයෙන් නෞකාවක් හෝ ගුවන් යානයක් කිසිදු සාධකයක් නොතබා විනාශ කර දැමීමට තරම් ප්‍රබල බලයක් මේ රළ තරංග සතුවේ. බර්මියුඩා ත්‍රිකෝණයට අයත් වන අත්ලාන්තික් සාගර කලාපය සැලකෙන්නේ විවිධ දිශාවල හට ගන්නා කුණාටු එක් වන තැනක් ලෙසය. මෙය දැවැන්ත තක්කඩි රළ හට ගැනීමට එක් හේතුවකි.


     19 වැනි සියවසේ මැද භාගයේ සිට මේ දක්වා සිදුවන අබිරහස් අතුරුදන් වීම් පිටසක්වළ ජීවීන්ගේ ක්‍රියාවක් ලෙස සැක කළ පිරිස්ද වූහ. අතුරුදන් වූ සමහර ගුවන්යානාවල නියමුවන් අවසන් වරට දුන් පණිවුඩවල දී පැවසූ අද්භූත ආලෝකයන් හා පාරිසරික වෙනස්කම් පිළිබඳ තොරතුරු හේතුවෙන් මෙය පිටසක්වළ ජීවීන්ගේ ක්‍රියාවක් බව සමහරුන්ගේ විශ්වාසය විය.
     තවත් පිරිසක් පැවසුවේ බර්මියුඩා ත්‍රිකෝණ කලාපයේ සාගරයේ අධික ලෙස මීතේන් පවතින බවයි. මේ මීතේන් වායුව හේතුවෙන් සාගර ජලයේ ඝනත්වය පහත හෙළන බවත් එයින් ජලය තනුක වීම හේතුවෙන් නෞකා ආදිය ගිලී යන අතර, මීතේන් වායු පිපිරීම් හේතුවෙන් ගුවන්යානා විනාශ වන බවත් කියැවේ.
     බර්මියුඩාවේ අබිරහස තවමත් හරිහැටි විසඳීමට නොහැකි වුවත්, නෞකා සහ ගුවන්යානා විශාල ප්‍රමාණයක් මේ සාගර කලාපයේ අතුරුදන් වුවත්, වර්තමානයේ මේ සාගර කලාපය නෞකා ගමන් ගන්නා ප්‍රධාන නාවුක මාර්ගයක් බවට පත්ව තිබේ.

أحدث أقدم

Top Post Ad


නවතම ලිපි...