zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

කවුරුත් දන්න KFC එකේ වැඩි දෙනෙක් නොදන්න කතන්දරේ

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

 





KFC කිව්වම කව්ද ඉතින් දැන් නොදන්නෙ? ඕන තරාතිරමක කෙනෙක් යන එන, කාටත් හුරු පුරුදු තැනක්නේ. අපේ ලංකාවේ කාටත් හුරු තැනක් විතරක් නෙමෙයි, මේ KFC කියන්නෙ ඇමරිකානු fast food restaurant එකක්. එකක් කිව්වට අවන්හල් ජාලයක්. ලංකාවේ KFC අවන්හලක් මුලින්ම ආරම්භ වෙන්නෙ 1995 වර්ෂයේදී මැජෙස්ටික් සිටි සුපිරි වෙළඳ සංකීර්ණයේ. මේ වෙද්දී ලංකාව පුරා KFC අවන්හල් 40කටත් වඩා ආරම්භ කරල තියෙනවා. ලංකාවේ මේ KFC ජාලයේ හිමිකාරීත්වය දරන්නෙ Cargills Ceylon ආයතනය. අපි කවුරුත් දන්න කාර්ගිල්ස් එක. මේ කාර්ගිල්ස් ආයතනය KFC ජාලයේ අන්තර්ජාතික ප්‍රමිතීන්ටත් අනුගතව අපේ රහට විශේෂ ආහාර පිළිගන්වන නිසාම තමයි ලංකාව ඇතුළෙත් මේ අවන්හල් ජාලය මේ තරම්ම ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ.

ඒකනම් නෙමෙයි මේ කියන්න යන කතන්දරේ. KFC එකෙන් කෑවට, රහ ගැන කතා කළාට ඔය හුඟක් දෙනෙක් මේ අවන්හල ජාලයේ ආරම්භය, මේ දක්වා ගමන ගැන කතන්දරේ දන්නෙ නැහැ. හැබැයි මේක කියෙව්වමනම් හිතෙයි දැනගෙන ඉන්නම වටිනා කතාවක් නේද කියල.

 

1. නිර්මාතෘ සහ මුල් හිමිකරු

මේ KFC අවන්හල් ජාලයේ නිර්මාතෘ වෙන්නෙ කර්නල් හාලන්ඩ් සැන්ඩර්ස් (Colonal Harland Sanders) කියන පුද්ගලයා. ඔහු උපත ලබන්නෙ 1890 සැප්තැම්බර් මාසෙ. ඔහුට වයස අවුරුදු 6දි ඔහුගේ පියා මිය යාමත් එක්ක මුළු පවුලේම බර පුංචි සැන්ඩර්ස්ගෙ අම්මගෙ කරමත පැටවෙනවා. ඉතින් පුංචි සැන්ඩර්ස් ළඟ ඔහුගේ අනිත් බාල සහෝදරයින් දෙන්නා තියලා අම්මට රැකියාවකට යන්න සිද්ධ වෙනවා. වයස අවුරුදු 7ක් වගේ පුංචි වයසේ ඉඳන්ම අම්මා සැන්ඩර්ස්ට කෑම උයන්න උගන්නනවා. අන්න එහෙම තමයි සැන්ඩර්ස් ඉවුම් පිහුම් කලාව ගැන ඉගෙන ගන්නෙ.

 

2. කලින් රැකියාව  

අවුරුදු 13දි ගෙදරින් පිටවෙන සැන්ඩර්ස් විවිධ රැකියාවල නිරත වෙනවා. ඔහු මුලින්ම වැඩ කරන්නෙ ගොවිපලක. අවුරුදු 15දි ගොවිපලෙන් ඉවත්වෙලා විවිධ රැකියාවන් වල නිරත වෙනවා. පේන්ට් බාස් කෙනෙක් විදිහට, ගිනි නිවන භටයෙක් විදිහට, රක්ෂණ විකුණුම්කරුවෙක් විදිහට වගේ එක එක රැකියාවන් වල ඔහු වයස අවුරුදු 40ක් ඒ කියන්නෙ 1929 වගේ වෙනකන්ම නිරත වෙනවා.

 

3. පළමු අවන්හල 

1929 දි තමයි සැන්ඩර්ස් ඔහුගේ පළවෙනි අවන්හල ආරම්භ කරන්නෙ. ඒ Kentucky කියන ප්‍රදේශයේ service station එකක් ළඟ. එතැනදී තමයි ඔහු මුලින්ම අර පුංචි කාලෙ අම්මගෙන් ඉගෙන ගත්ත චිකන් එක හදලා විකුණන්නේ. ඒ චිකන් එකේ රස නිසාම ඒ අවන්හල ප්‍රසිද්ධියට පත්වෙනවා වගේම ඔහු අවුරුදු හතරකට පස්සේ එතනම පාරෙන් එහා පැත්තේ ටිකක් විශාල තැනක් මිලදී අරගෙන් අවන්හල විශාල කරන්නත් සමත් වෙනවා. මේ චිකන් ඩිෂ් එකේ රස නිසාම එවකට හිටපු ආණ්ඩුකාරවරයා විසින් ඔහුට Kentucky Colonel කියන නාමයත් ප්‍රධානය කරනවා. 1937 වෙද්දී ඔහු ආසන 142 විශාල අවන්හලක් ආරම්භ කරනවා Sanders Court & Café කියන නමින්.

1940 වර්ෂයේදී තමයි ඔහු දැනටත් පාවිච්චි වෙන නියම KFC චිකන් රෙසිපි එක නිර්මාණය කරන්නෙ. මේ original recipe එක කුළුබඩු වර්ග 11කින් සමන්විත, දැනටත් සඟවලා තියෙන රෙසිපි එකක් කියල තමයි කියන්නෙ. 

 

4. විශ්‍රාම දිවිය සහ ප්‍රතික්‍ෂේප වීම

කොහොමින් හරි 1955 වර්ෂයේදී මේ අවන්හල විකුණා දමන සැන්ඩර්ස් ඔහුගේ මේ රහසිගත චිකන් වට්ටෝරුව franchise කරන්න තීරණය කරනවා. හැබැයි අවාසනාවක මහත කියන්නෙ ඔහු එක එක අවන්හලෙන් අවන්හලට ගිහිල්ලත් මේ වට්ටෝරුව 1009 වතාවක් ප්‍රතික්ෂේප වෙනවා. අන්තිමේ එකම එක අවන්හලක් ඔහුගේ මේ වට්ටෝරුවටයි රහසිගත කුළුබඩු පැකට් ලබාදෙන ගනුදෙනුවටයි කැමති වෙනවා. හැබැයි ඔහුගේ රහස් රෙසිපියනම් කාටවත්ම දෙන්නේ නැහැ. ඒ වට්ටෝරුවට හදපු කුළුබඩු පැකට් තමයි ඔහු ලබාදෙන්නෙ.

 

5. KFC ආරම්භය  

ඉන්පස්සේ ඔහු කලින් ආරම්භ කළ Sanders Court & Café අවන්හල විකුණලා මේ franchise එක ලෝකය පුරා ප්‍රචලිත කරන්න මහන්සි වෙනවා. ඒ විදිහටයි පළවෙනිම Kentucky Fried Chicken හෙවත් KFC අවන්හල ආරම්භ වෙන්නෙ. මුල්ම franchise එක ආරම්භ කළ පීට් හාමන් (Pete Harman) කියන පුද්ගලයා තමයි  Kentucky Fried Chicken කියන නමත් “It’s finger lickin’ good” කියන slogan එකත් නිර්මාණය කරන්නෙ. කොහොමින් හරි 1964 වෙනකොට සැන්ඩර්ස්ගෙ මේ වට්ටෝරුව විකුණන franchises ප්‍රමාණය 600 ක් දක්වා වැඩි කරගන්න ඔහු සමත් වෙනවා.

 

6. KFC විකිණීම 

කොහොමින් කොහොම හරි 1964 වසරේදි ඒ කියන්නෙ සැන්ඩර්ස්ට වයස අවුරුදු 74ක් වෙද්දී ඔහු තීරණය කරනවා මේ KFC ජාලය විකුණන්න. ඒ අනුව ඔහු ඩොලර් මිලියන දෙකක මුදලකට මේ ආයතනය විකුණා දමනවා. හැබැයි ඒ විකුණුම් ගිවිසුම අනුව ඔහුට ආයතනයෙන් ජීවිත කාලෙටම වැටුප් ලැබෙනව වගේම ආයතනයේ වෙළඳ ලකුණ සහ තත්ත්ව පාලක විදිහට දිගටම ඔහුම රැඳී ඉන්න බව සඳහන් වෙනවා. 1971 දි ආපහු හිමිකරුවන් විසින් මේ ආයතනය විකුණනවා. 

ආයතනයේ නිර්මාතෘ කර්නල් සැන්ඩර්ස් 1980 වර්ෂයේදී ඔහුට වයස අවුරුදු 90ක් වෙද්දී මියයනවා. ඒ වෙද්දී ඔහු නිර්මාණය කරපු මේ KFC අවන්හල් ජාලය රටවල් 48 ක් පුරා අවන්හල් 6,000 ක් දක්වා පැතිරිලා තියෙනවා.

 

7. වර්තමාන KFC ජාලය

KFC ජාලයේ වර්තමාන හිමිකාරීත්වය දරන්නෙ Yum! Brands කියන ආයතනය. Pizza Hut සහ Taco Bell කියන අවන්හල් ජාලවල හිමිකාරිත්වය දරන්නෙත් මේ Yum! Brands ආයතනයම තමයි. KFC කියන්නෙ මේ වෙද්දී රටවල් 135ක් පුරා පැතිරුණ අවන්හල් 22,600කින් සමන්විත විශාල fast food restaurant chain එකක්. KFC කියන්නෙ McDonald’s ආයතනයට පමණක් දෙවෙනි වෙන ලෝකේ දෙවෙනියට ලොකුම ක්ෂණික ආහාර අවන්හල් ජාලය කියල තමයි සඳහන් වෙන්නෙ.

 

Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!